හිරුණිකා ඇතුළු 9 දෙනාට සිතාසි

දෙමටගොඩ දී තරුණයකු පැහැරගෙන යෑම ඇතුළු අධිචෝදනා 29ක් යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුවට ලබන මස 21 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවන් 09 දෙනාට සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. රණවක ගුණතිලක මහත්මිය ඊයේ (08) නියෝග කළාය.

පැලවත්ත විතානගේ නිරංජන්, හසිත් මලින්ත ජයතිලක, රූපසිංහ ආරච්චිගේ කසුන් සම්පත්, ඉන්දික රුවන් පුෂ්පකුමාර ද සොයිසා, මයිකල් ඇන්තනී, හසීන් මොහොමඩ් රිස්වාන්, ඇන්තනි ජෝශප් හා හිරුණිකා එරංජලී ප්‍රේමචන්ද්‍ර යන අයට එසේ සිතාසි නිකුත් කෙරුණි. 

නඩුවේ සෙසු විත්තිකරුවන් 8 දෙනා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආරක්ෂක නිලධාරින් හා ආධාරකරුවෝ වෙති. 2015/12/21 දෙමටගොඩ දී අමිල ප්‍රියංකර අමරසිංහ නමැත්තාව අයුතු ලෙස සිරකර තබා ගැනීමේ අදහසින් පැහැරගෙන යෑම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම, පැහැරගෙන ගොස් රඳවා තබා ගැනීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිටීම, සාපරාධී බලහත්කාරකම් පෑම, බියගැන්වීම හා ආධාර අනුබලදීම ඇතුළු අධිචෝදනා 29ක් යටතේ විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා නගා ඇත.

විත්තිකරුවනට එරෙහිව නගා ඇති අධිචෝදනා ඔප්පු කිරීම සඳහා කුඩා දැරියක ඇතුළු සාක්කිකරුවන් 10 දෙනෙක්ද ලේඛන කිහිපයක්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය වෙත දන්වා ඇත.