ජනක බණ්ඩාරට එරෙහිව පුළුල් පරීක්ෂණ

මාතලේ ගලේවෙල ප්‍රදේශයේ රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම සහ තවත් රාජ්‍ය දේපොළ බරපතළ ලෙසට වංචා කළේ යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් පුළුල් ලෙස පරීක්ෂණ සිදුකරගෙන යයි.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති රංජිත් අලුවිහාරේ මහතා විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයටත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමටත් කරන ලද පැමිණිලිවලට අදාළව මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉබ්බන්කටුව හීනටිගුට ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් ආයතනයකට අයත් බව කියන විශාල ඉඩමක් එම ආයතනය 1986 වසරේදී රජයෙන් දීර්ඝ කාලීන බද්දට ලබාගත් එකක් වෙයි.

එම ආයතනය ඉඩම රාජ්‍ය බැංකුවකට උගසට තබා ණය මුදලක් ලබාගෙන තිබී ඇත. පසුව මෙම ණය නොගෙවීම නිසා එම ඉඩම බැංකුවට සින්න වී තිබේ. පසුව එය ගලේවෙල ප්‍රාදේශීය ලේකම් භාරයට අයත්ව තිබිණි.

ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එවකට ඉඩම් ඇමතිවරයාව සිටියදී ඒ මහතාට අයත් තෙන්නකෝන් පදනමට එම විශාල ඉඩම සහ බංගලාව පවරාගෙන එම දේපොළ පෞද්ගලික පරිහරණයට යොදාගෙන ඇත.

එහි තිබූ විශාල බංගලාවද ඇමැතිගේ පෞද්ගලික භාවිතයට මෑතක් වන තෙක්ම යොදාගෙන තිබූ බව පැමිණිල්ලේ සඳහන් වෙයි.

ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එම ඉඩම ලබා ගැනීමට පෙර ප්‍රාදේශීය ලේකම් භාරයට එම ඉඩම තවත් ඉහළ පෙළේ ව්‍යාපාරික ආයතනයකට බදු දීමට කටයුතු කර තිබුණත් පසුව එය යම් කිසිවකු විසින් වළක්වා තිබේ. තෙන්නකෝන් පදනමට මෙම ඉඩම සහ බංගලාව පවරා ගැනීමෙන් පසු ඉඩම දෙකඩ කර බංගලාව වෙන්කර එය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙ පෞද්ගලික පරිහරණයට යොදාගෙන ඇත. මෙම ඉඩම දෙකඩ කිරීම සම්බන්ධව මහවැලිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විරෝධතාවය දක්වා ඇතත් දේශපාලන බලපෑම් නිසා එම විරෝධතා නොසලකා හැර තිබේ.

මෙම ඉඩම් වංචාවට අමතරව මාතලේ ප්‍රදේශයේ රජයේ වියදමින් ඉදි කළ පෞද්ගලික ගොඩනැගිල්ලක් අතර මගදී එම ඉදිකිරීම් නතර කර රාජ්‍ය මුදල් විශාල වශයෙන් නාස්ති කිරීම සම්බන්ධවද තවත් පැමිණිල්ලක් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇත.

අල්ලස් කොමිසම සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙම පැමිණිලි දෙක සම්බන්ධව පුළුල් ලෙස පරීක්ෂණ පවත්වා අවසන් වෙමින් පවතී.

ඒ සඳහා ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මහවැලිය යන තවත් ආයතන රැසක නිලධාරින්ගේ ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. ඊට අමතරව එම ඉඩමට සහ ගොඩනැඟිලිවලට අදාළ ඔප්පු, රජයේ ලියකියවිලි ඇතුලු බැංකු, යනාදි ලියකියවිලි විශාල ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර තිබේ.

මෙම මූලික පරීක්ෂණ අවසානයේදී එනම් මෑතකදී චෝදනාවට ලක් වී සිටින ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ අල්ලස් කොමිසම ප්‍රකාශ ලබාගැනීම සඳහා කැඳවීමට නියමිතව ඇත.