පාලිත තෙවරප්පෙරුම ආයෙත් යකා නටයි

ගාල්ල - දෙවට ප්‍රදේශයේ හෝටලයකට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම එහි සේවකයෙකුට පහරදී ඇති බවට වාර්තා වනවා.

අදාළ සේවකයා ප්‍රකාශ කළේ නියෝජ්‍ය අමාත්‍යවරයා පරුෂ වචනයෙන් බැණ වැදී ඊයේ දහවල් තමන්ට පහරදුන් බවයි. අදාළ පහරදීම හෝටලයේ සවිකර තිබුණ ආරක්ෂක කැමරාවලද සටහන් වී තිබුණා.

කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සඳහන් කළේ එවැනි පහරදීමක් සිදු නොකළ බවයි.

මෙම සිද්ධියෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා යළිත් ගාල්ල වරාය පොලීසියේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමඟ අදාළ හෝටලයට පැමිණියේ එහි තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහායි.

එහිදී ඔහු ඇතුලු පිරිස හෝටලයේ පිටුපස ප්‍රදේශයට ගොස් එහි අපවහන පද්ධතියද පරීක්ෂා කළා. අපවහන පද්ධතිය සහ හෝටලයේ මුළුතැන් ගෙය එක්ව පිහිටි ආකාරයද එහිදී දක්නට ලැබුණා.

කෙසේ වෙතත් එහිදී ප්‍රදේශවාසීන්ගෙන් පිරිසක් නියෝජ්‍ය අමාත්‍යවරයාට සහය දැක්වූ අතර තවත් පිරිසක් විරෝධය පළ කළා.