අෆ්රිඩිගෙන් ලෝක ශූර ඉන්දියාවට අමතක නොවන පාඩමක් [Video]

සයිඩ් අෆ්රිඩිගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ඉන්දියාවට එරෙහිව එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරිමට පකිස්ථානය අද සමත් විය.ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය සහ ලෝක ශූර ඉන්දීය කණ්ඩායම අතර තරගය මීර්පූර්හිදී පැවැත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 249ක් ලබා ගත්තේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය පන්දුවාර 49යි පන්දු 4ක් අවසානයේදී කඩුලු 9ක් දැවී තිබියදී ලකුණු 249ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.

කාසියේ වාසිය දිනු පකිස්ථාන නායක මිස්බා උල්-හක් ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දියාවට ආරාධනා කළේය.රෝහිත් ෂර්මා ලකුණු 56ක් ලබා ගත්තේය.රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 52ක් ලබා ගැනීමට සමත් විය.පකිස්ථානයේ 197 වන ක්‍රීඩකයා ලෙසින් අද එක්දින ජාත්‍යන්තර තරග වරම් දිනාගත් වේග පන්දුයවන ක්‍රීඩක මොහොමඩ් තල්හා පන්දුවාර 7කදී ලකුණු 22කට කඩුලු 2ක් දවා ගැනීම විශේෂත්වයකි.

ඊට නිලකුණු පන්දුවාරයක් ද ඇතුලත් විය.සයිඩ් අජ්මාල් ලකුණු 40කට කඩුලු 3ක් දවා ගත්තේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පකිස්ථානය වෙනුවෙන් අහමඩ් ශේෂාඩ් සහ සාර්ජීල් ඛාන් පිටියට පිවිසියේය.ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 71කි.සාර්ජීල් ඛාන් ලකුණු 25කට දැවී ගියේය.ලකුණු 113කට පකිස්ථාන ඉනිමේ කඩුලු 4ක් දැවී ගියේය.

අනතුරුව 5 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සබඳතාවයක් ගොඩනැංවීමට මොහොමඩ් හෆීස් සහ සෝහීබ් මක්සූඩ් සමත් විය.හෆීස් ලබාගත් ලකුණු ගණන 75කි.පකිස්ථානයට අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 10ක් අවශ්‍යව තිබුණි.අවසන් පන්දුවාර ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් විසින් ක්‍රියාත්මක කරනු ලැබිණි.ඔහු සිය පළමු පන්දුවෙන් සයිඩ් අජ්මාල් ලබා ගැනීමට සමත් විය.

දෙවන පන්දුවට මුහුණ දුන් ජුනයිඩ් ඛාන් එක් ලකුණක් ලබා ගනිමින් පන්දුවට පහරදීමේ අවස්ථාව සයිඩ් අෆ්රිඩිට ලබා දුන්නේය.අනතුරුව තුන්වන සහ හතරවන පන්දු දෙකකට දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කළ අෆ්රිඩි ඉන්දීය බලාපොරොත්තු සුන් කරමින් පකිස්ථාන කණ්ඩායම ජයග්‍රාහණය කරා ගෙන යාමට සමත් විය.රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 44කට කඩුලු 3ක් දවා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය පකිස්ථානයේ මොහොමඩ් හෆීස්ට් හිමිවිය.තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පෙරළිකාර ඇෆ්ගනිස්ථානය අතර තරගය හෙට මීර්පූර්හිදී දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට සවස 1.30ට ආරම්භ වේ.