බීමතින් නිවසට පැමිණ වැඩිමහල් දියණිය දුෂණය කළ බවට අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ වරද පිළිගත් සිවු දරු පියෙකුට විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය විසින්ඊයේ (11) වසර 20 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් සමග දඩ සහ වන්දි මුදල් ගෙවන ලෙස නියෝග කළාය.
1997 දෙසැම්බර් මස 17 වනදින හෝ ඊට ආසන්න දිනයකදී මේ පුද්ගලයා මෙම අපරාධය සිදුකොට තිබේ.
මෙසේ විසි වසරක සිර දඩුවම් සමග දඩ සහ වන්දි ගෙවන ලෙස නියෝග කෙරුනේ අංක 353 යාය 06 මන්නාරම් හංදිය මහවිලච්චිය ලිපිනයේ පදිංචි රන්කොත් ලැබුනගේ නිමල් සුමනරත්න (53) නැමැති අයෙකුටය.අගතියට පත් වැඩිමහල් දියණියට රුපියල් පන් ලක්ෂයක වන්දි මුදලකුත් රුපියල් පන්දහසක දඩ මුදලකුත් ගෙවන ලෙස නියෝග කළ විනිසුරුවරිය එම වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් මාස 24 ක බරපතල වැඩ සහිත සිර දඩුවමකුත් රුපියල් පන්දහසේ දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 12 ක ලිහිල් වැඩ සහිත සිර දඩුවමකුත් නියම කළාය. මෙම පුද්ගලයා අධිකරණය මග හැරීම හේතුවෙන් වරෙන්තු ලැබ සිටියදී මහවිලච්චිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.