මුරලිලාගේ බෙංගාල ලංසුව වාරයකට ලක්‍ෂ 127 යි

ලොව දග පන්දු රජු ලෙසින් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් බෙංගාල ක්‍රිකට්‌ සංගමයේ දඟ පන්දු පුහුණු උපදේශකයකු ලෙස පත්කර ගැනීමට එම ක්‍රිකට්‌ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම මස 15 වැනිදා සිට ඉදිරි වසර 3 ක කාලයක්‌ මුරලිදරන් බෙංගාල ක්‍රිකට්‌ සංගමයේ දඟ පන්දු පුහුණු උපදේශකවරයා ලෙස කටයුතු කිරීමට එම සංගමය සඳහා කොන්ත්‍රාත්තුවකට එළැඹ සිටින අතර ඒ සඳහා ඊයේ අත්සන් තබන ලදී.

හිටපු ඉන්දීය නායකයකු සහ වත්මන් බෙංගාල පිලේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන සව්රව් ගංගුලිගේ නිර්දේශයක්‌ මත මුත්තයියා මුරලිදරන්ව අදාළ තනතුරට පත් කර තිබීමද විශේෂත්වයක්‌ වේ. මුරලිදරන්ට අමතරව පාකිස්‌තානු පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන වකාර් යුනිස්‌ද බෙංගාල ප්‍රාන්ත පිලේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත. බෙංගාල කණ්‌ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු වන රනාඩෙබ් බෝස්‌, වකාර්ගේ සහායකයා ලෙස කටයුතු කරන නමුත් මුරලිදරන්ගේ සහායකයා කවුරුන්ද යන්න මේ වන තෙක්‌ ප්‍රකාශයට පත් කර නොමැත.


මුරලිදරන් සහ වකාර්ට අදාළ ධුරයේ කටයුතු කිරීම වෙනුවෙන් තරගවාරයකට ඉන්දීය මුදලින් රුපියල් ලක්‌ෂ 60 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්‌ෂ 127) මුදලක්‌ ගෙවනු ලබන බවද විදෙස්‌ මාධ්‍ය වාර්තාවල සඳහන්වෙයි.