35ට අඩුනම් ත්‍රිරෝද රථ පදවන්න බැහැ

අපේ රටේ ප්‍රවාහන සේවාවන් අතර වඩාත්ම අර්බුදයට ලක්වන ප්‍රවාහන සේවය ලෙස ත්‍රිරෝද රථ පෙරට පැමිණ තිබේ. මාධ්‍ය හරහාද ත්‍රිරෝද රථ කර්මාන්තය සම්බන්ධයෙන් පැන නගින අර්බුද පිළිබඳව නිතරම පාහේ කතාබහ කළද අදටත් ඊට නිශ්චිත විසඳුමක් ලැබි නොමැත. ත්‍රිරෝද රථ කර්මාන්තය හා ත්‍රිරෝද රථ රියැදුරන් මේ වන විට මුහුණපාමින් සිටින අලුත්ම ගැටලුව වන්නේ ත්‍රිරෝද රථ රියැදුරෙකුගේ අවම වයස් සීමාව වයස අවු. 35 විය යුතු බවට රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබිමය.
මේ හේතුවෙන් මේ වන විට ඊට අඩු වයස් සීමාවන්හි පසුවන ත්‍රිරෝද රථ වෘත්තිකයන්ගේ වෘත්තිකභාවයට අභියෝගයක් එල්ල වී තිබෙන බවට මෙරට ත්‍රිරෝද රථ වෘත්තිකයෝ මැසිවිලි නගති. මේ පිළිබඳව පැහැදිලි කර ගැනීමට මෙරට ප්‍රධාන පෙළේ ත්‍රි්‍රරෝද රථ සංගම් කිහිපයකින්ම මෙලෙස අදහස් විමසා සිටියෙමු.


සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් ඒ
පිළිබඳ මෙසේ සිය අදහස් පළ කළේය.
 “ප්‍රවාහන අමාත්‍යංශය මගින් මේ වන විට නිකුත් කර තිබෙන අතිවිශේෂ ගැසට් පත්‍රයකින් දැනුම් දී තිබෙනවා. ත්‍රිරෝද රථ රියැදුරෙකු අවුරුදු 35 ට වැඩි 70ට අඩු වයස් සීමාවේ සිටිය යුතු බව. නමුත් ත්‍රිරෝදරථ වෘත්තිකයන් විදිහට අපි ඉල්ලා සිටියේ අවම වයස් සීමාව අවුරුදු 25 ක් කියලා. නමුත් මේ විදිහට ත්‍රීවීල් රියැදුරෙකු වීමේ වයස් සීමාව 35කට කොටු කිරීම, මේ කර්මාන්තය විනාශ කරන්නට ගෙන ආ කුමන්ත්‍රණයක් විදිහටයි අපි දකින්නේ. බැලූ බැල්මට පෙනෙන්නේ අවුරුදු 35 ත් 70 ත් අතර මුහුකුරා ගිය අය මේ වෘත්තිය කරනවා නම් හොඳයි කියන කාරණය ඉස්මතු වීමක්. මේ විදිහට අවුරුදු 25 ඉඳලා ත්‍රීවීල් එලවන එක හොඳ නැහැ කියලා මිනිසුන්ට හිතෙන්න පුළුවන්. ඒ වුණාට අවුරුදු 35ක් වෙනකම් ත්‍රීවීල් එකක් එලවන්න රියැදුරෙක් බලාගෙන ඉන්නේ නැහැ. ඒ විදිහට අවුරුදු 35ක් වයස ගියාට පස්සේ මේ ත්‍රීවීල් එලවන්න කවුරුත් නැති වෙනවා. අපි දකින විදිහට දැනටමත් විවෘත කරලා තියෙන ටැක්සි කොම්පැනි රජ කරවන්න ගත් උත්සාහයක් තමයි මේ වයස් සීමාව.
ඒ වගේම පිට පළාත්වල ගොවිතැන් සහ කර්මාන්තවල නියලුණ තරුණ ප්‍රජාව අද ඒ කර්මාන්ත වලින් ඉවත් වෙලා. ඒවා අතහැරලා ත්‍රීවීල් රස්සාවට යොමුවෙනවා. මේක ඇත්තටම ව්‍යසනයක්. ඒ නිසා තමයි අපි කිව්වේ අවම වයස් සීමාව අවුරුදු 25 කරන්න කියලා. මෙහිදී ඒ පිරිසට රටේ සිවිල් නීතිය, මාර්ග නීතිය, දණ්ඩ නීති සංග්‍රහය, මානසික විද්‍යාව වැනි විෂයන් පිළිබඳව අවුරුදු දෙකක පුහුණූවීමක් ලබාදීලා නිවැරදි ත්‍රිරෝද රථ වෘත්තික රියැදුරෙක් විදිහට හඳුනාගෙන, නිවැරදි ත්‍රිරෝද රථ වෘත්තිකයෙකු බවට පත් කරන්න කියලා ඉල්ලා සිටිමින් මේ අවුරුදු 25 වයස් සීමාව ගේන්න කියලා අපි කිව්වේ. අපි දකින විදිහට හොඳ තේරුමක් ඇති අය මේ රස්සාවට යොදවනවා කියලා කියමින් ජනතාවට බොරු මුහුණුවරක් පෙන්වීමේ වැඩ පිළිවෙළක් තමයි මේ පිටුපස තියෙන්නේ.”
ත්‍රිරෝද රථ රියැදුරෙකු වීමේ අවම වයස් සීමාව අවුරුදු 35ට සීමා කිරීම පිළිබඳව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මෙලෙස අදහස් දැක්වීය.
“සංගමයක් විදිහට අපි කියන්නේ වයස අවුරුදු 35 සීමාව ප්‍රවාහන ඇමැතිවරයා හිතුමතේට ගත් තීරණයක් බවයි. ඔය නිකුත් කරපු අතිවිශේෂ ගැසට් පත්‍රය එන්න කලින් අපි එක්ක සාකච්ඡා කළා. අවම වයස් ප්‍රමාණය ගැන. එතකොට සංගම් විදිහට අපි ඉල්ලුවේ අවම වයස් සීමාව 25 බවට පත් කරන්න කියලා. අවුරුදු 60-70 ත් අතර ආයුෂ ප්‍රමාණයක් තියෙන ජනතාව ඉන්නා රටක අපේ රටේ ප්‍රවාහන ඇමැතිතුමා නීති ගේනවා. ත්‍රිරෝද රථ මගී ප්‍රවාහනයේ යෙදෙන්න පුළුවන්. අවුරුදු 35ත් 70ත් අතර පිරිස්වලට විතරක් වෙන විදිහට වයස 70ක් වෙනකොට ඇස් පෙනීමේ දුර්වලතා, මානසික ආබාධ එක්ක මේ රැකියාවේ නියැලෙන්න බැහැනේ. මොකද මාර්ග තදබදය මාර්ග ආලෝක ප්‍රශ්න මත ඔවුන්ට ත්‍රිරෝද රථයක් හැසිරීවීම අසීරු වීමෙන් මාර්ග අනතුරු සිදුවෙන්න පුළුවන්. අපි කියන්නේ රජය ඔය වසස 35 කියන සීමාව ගේනවා නම් දැනට මේ රැකියාවේ නියැලෙන 60-70 ත් අතර තරුණ පිරිසට වහාම රැකියා ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ කියලයි.
අවුරුදු 35 නීතිය දැම්මේ මොන පදනමින්ද, සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර විමසන්නේය.
විටින් විට මේ ආකාරයට ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් නොයෙකුත් යෝජනා ඉදිරිපත් වුවද අද වන විට ඉන් එකක් හෝ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවී නැත. මේ අනුව අදවන විට මෙරට ත්‍රි්‍රරෝද රථ වෘත්තිකයාගේ වෘත්තිය මට්ටම අවිනිශ්චිත තත්ත්වයකට පත්වෙමින් තිබේ. සාමාන්‍ය ජනතාවට අතිවිශාල සේවාවක් සපයන ත්‍රිරෝද රථ කර්මාන්තයේ අනාගතය විධිමත් වීමට නම් මේ වෙනුවෙන් රාජ්‍ය මැදිහත් වීම මත නියාමන යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවීම අතිශය වැදගත් වේ.

සමන්මලී නැලිගම