බන්දු සහ ටෙනී අවුරුදු 10කට පස්සේ එකම චිත්‍රපටයක

බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ කියන අති දක්ෂ විකට නළුවන් දෙදෙනා එකට රඟපාන චිත්‍රපටයක් මෑතකදී දකින්නට ලැබුණේ නැහැ. ඔවුන් දෙදෙනා එකට රඟපාන්නේ නැත්තේ හිත් අමනාපකම් නිසා කියලයි සමහරු කිව්වේ. ටෙනිසන් කුරේ සහ බන්දු සමරසිංහ අවුරුදු දහයකට පසුව ආයෙමත් එකට රඟපාන්නේ 'අයිබා ෆිල්ම්ස්' නිෂ්පාදනය කරන, සජීව සංකල්ප කියන තරුණ අධ්‍යක්ෂවරයාගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන 'යම රජ සිරි' චිත්‍රපටයේයි.
පහුගිය කා‍ලේ ටෙනියි බන්දුයි එකට රඟනොපෑවේ ඇයි? කලකට පසුව එකට රඟපාන්න හිතුනේ ඇයි ? අපි මේ ගැන ඒ දෙදෙනාගෙන්ම විමසුවා.

බන්දු සමරසිංහ

එකට රඟපානවා කාලෙකින් දැකපු නැති හින්දා බන්දුයි ටෙනියි අමනාපයි කියලා බොහෝ අය හිතාගෙන හිටියේ ?

අපි මුණ ගැහුණේ මීට අවුරුදු 30කට විතර කලින් නොම්මර 01 චිත්‍රපටිය කරද්දීයි. එදා පටන් අපේ හිතවත්කම නම් කවදාවත් බිඳිලා නැහැ. අපි පවුල් වශයෙන් ගත්තත් හොඳ හිතවතුන්. ටෙනීගේ ගෙදර ඕනෑම උත්සවයකට කවදාවත් මම නැතිවෙන්නේ නැහැ.

අවුරුදු 10කට පසුව ඔබ ආයෙත් ටෙනී සමග රඟපාන්න සූදානම් වෙනවා කියන්නේ ඇත්තද?

ඔව්, යම රජ සිරි චිත්‍රපටය අපි දෙන්න රඟපාන්නේ අවුරුදු 10කට පස්සේ.

අමනාපයක් නැත්නම් මෙතරම් කාලයක් ඇයි දෙදෙනා එකට රඟ නොපෑවේ?

එහෙම වුණේ අපි දෙන්නා එකට රඟපානවාට මනාප නැති අය හින්දා වෙන්න ඇති.

කවුද ඒ අය...?

ඒ කවුද කියන්න නම් දන්නේ නැහැ. ඒත් දෙන්නා එකට යොදාගන්න නිෂ්පාදකවරු මැලි වුණා. ඒකට යම් යම් අයගේ කේලම් බලපාන්න ඇති. මේ දෙන්නා එකට රඟපාලා දැන් චිත්‍රපට දුවයිද? මේ දෙන්නා ගන්න එපා කියලා කියපු අයත් හිටියා. ඒවා අහන අයත් හිටියා.

ඇයි ඒ...?

මේ ආටිකල් එක දැක්කමඇයි මුන් දෙන්නාගෙ ආටිකල් එකක් කළේ. වෙන අය නැද්ද? කියලා ඔබට බනින අයත් ඉඳියි. එහෙම කරන්නේ හේතුවක් ඇතිව ‍නෙවෙයි. ඒ තමයි ඒ අයගේ හැටි. ලංකාවේ එහෙම අය ඉන්නවා. මම හිතන්නේ ඔය වගේ අය ඉන්නේ ලංකාවේ විතරක් වෙන්න ඇති.

නිෂ්පාදකවරු ඔබ දෙදෙනා එක නිර්මාණයකට සම්බන්ධ කර නොගත්තේ ඒ විදියේ බාහිර බලපෑම නිසා කියලද ඔබ ඔය කියන්නේ?

පහුගිය කා‍ලේ අපි දෙදෙනාම වෙන වෙනම නිර්මාණවලට එක්වුණා. දෙදෙනාම එකට යොදාගැනීමකුයි සිදු නොවුණේ. ඒකට ඔය වගේ බාහිර බලපෑම් බලපාන්නත් ඇති. අපිව එකට යොදාගත යුතු නෑ කියලා හිතපු නිෂ්පාදකවරු ඉන්නත් ඇති. හැබැයි කවුරු කොහොම කිව්වත් අපි දෙන්නාගේ චිත්‍රපට මිනිස්සු පිළිගන්නවා.

යම රජ සිරි චිත්‍රපටයේ බන්දුයි පුතයි මිතුරෝ දෙන්නෙක් විදියට යුග ගීයකුත් ගයනවා නේද?

ඒකත් විශේෂයි. මේ චිත්‍රපටයේ මමයි ටෙනියි රඟාපන යුග ගීතයක් තියෙනවා. ඒ ගීතය ගයන්නේ මමයි, මගේ පුතා වන කාංචන සමරසිංහයි. මම මගේ චරිතයට හඬ මුසු කරද්දී ටෙනී වෙනුවෙන් ගයන්නේ කාංචන.

ඉදිරියේදී නැවත ඔබ දෙදෙනා එකට රඟපාන නිර්මාණ තියෙනවාද?

මගේ නිර්මාණ වගේම ටෙනීගේ නිර්මාණත් ඉදිරි කාලයේදී එන්න තියෙනවා. ඒත් අපි දෙන්නා එකට රඟපාන චිත්‍රපට නම් නැහැ. අලුතින් ආරාධනාවක් ලැබුණෙත් නැහැ.

අවසන් වශයෙන් මේ අලුත් නිර්මාණය ගැන මොනවාද කියන්න තියෙන්නේ?

මමයි ටෙනියි යම රජ සිරි රඟපෑවේ වියත් විචාරකයන්ට නම් ‍නෙවෙයි. ඒ වගේම සිනමා කර්මාන්තයේ සුබ සිද්ධිය උදෙසා එකට රඟපෑ යුතුයි කියන අදහසක් අපිට තිබුණෙත් නැහැ. බන්දු ටෙනී ප්‍රිය කරන රසික පිරිසක් මේ රටේ ඉන්නවා. අන්න ඒ අය වෙනුවෙන් තමයි අපි රඟපෑවේ.

ටෙනිසන් කුරේ

බන්දුගෙයි ටෙනීගෙයි අලුත්ම රංගනය ටෙනීට දැනෙන්නේ මොන විදියටද?

යම රජ සිරි තමයි අපි දෙන්නා අවුරුදු 10කට පසුව රඟපාන චිත්‍රපටය. චිත්‍රපටයේ හැටියට අපි දෙන්නා මිනී කනත්තක මුරකරුවෝ දෙන්නෙක්. මගේ බිරිඳ ශිරෝමිකා. අපිට ළමයි 9 දෙනයි. බන්දුගේ බිරිඳ විදියට රඟපාන්නේ ගයාත්‍රි ඩයස්. ඒ දෙන්නටම ළමයි 11යි. අපි බොහොම දුෂ්කරතා විඳිමින් ජීවිතය ගෙන යනවා. ඔය අතරේ යම රජු (රොනි ලීච්ට) තමන්ගේ බිරිඳ එපා වෙලා අලුත් බිරිඳක් හොයන්න ඔහුගේ සේවකයා කුමාර (කුමාර තිරිමාදුර) මනුස්ස ලෝකෙට එවනවා. ඒ සේවකයා මමයි බන්දුයි එක්ක හිතවත් වෙලා අපිට තමයි රාජකාරිය පවරන්නේ. ඒ ඔස්සේ තමයි කථාව ගලාගෙන යන්නේ.

මේක විකට චිත්‍රපටයක්?

ආයෙත් අහලා. මේක තනිකරම විකට චිත්‍රපටයක්. අපි ඉස්සර චිත්‍රපට බලලා ගෙදර ගිහින් කථාව කියනවා. කියන්න කථාවක් ඒ චිත්‍රපටවල තිබුණා. සමහර චිත්‍රපටවල නම් තියෙන්නේ සිදුවීම් පෙළක් විතරයි. යම රජ සිරි චිත්‍රපටයේ කථාවක් තියෙනවා.

පසුගිය කා‍ලේ බන්දුයි ටෙනියි එකට රඟ නොපෑ හේතුව මොකක්ද?

විකට නළුවෝ ගැන තුට්ටු දෙකට හිතන අය ඉන්නවා. බන්දුයි ටෙනියි කවුද කියලා අහන අය ඉන්නවා. ඒත් අපිට ප්‍රේක්ෂකයෝ පිළිගන්නවා. ඉල්ලුම අනුවනේ මිල තීරණය වෙන්නේ. ඇත්තම කියනවා නම් බන්දුයි මාවයි දෙන්නව එක චිත්‍රපටයකට ගන්න නිෂ්පාදකවරුන්ට ලොකු මිලක් වැය කරන්න වෙනවා. බන්දුයි වෙන නවක නළුවෝ, එහෙම නැත්නම් මාවයි වෙන නවක නළුවෙකුවයි දාලා චිත්‍රපට කරන එක ඊට වඩා ලාභයි. ඒ හින්දයි අපි දෙන්නම එකට ගත්තේ නැත්තේ. හැබැයි ඉතින් වැඩි මිලක් වැය කළාට පාඩුවක් නැහැ කියලා තේරුම් ගත්තු අය අපිව ගන්නවා. මේ චිත්‍රපටය ඒ වගේ අවස්ථාවක්.

හැබැයි ප්‍රේක්ෂකයෝ හිතුවේ ඔය දෙන්නා එකට රඟපෑවේ නැත්තේ අමනාපයක් නිසා කියලයි?

අපි දෙන්නව අමනාප කරන්නේ කොහොමද කියලා හිතන්න සමහරු පෙළඹුණේ ඊර්ෂ්‍යාවට හා කුහකකමට.

දෙන්නා අතර අමනාපකම් ඇති කරන්න උනන්දු වූ අය මොකද කළේ?

ඒවා නම් අනන්තයි. අප්‍රමාණයි. මගේ දුවගේ මංගල උත්සවයකට මගේම ආරාධනයෙන් ඇවිත් බන්දුත් එක්ක එක ටේබල් එකේ වාඩි වෙලා මගේම විස්කි බිබි බන්දුත් එක්ක මගේ වැරදි කී කලාකරුවොත් හිටියා. පහුවදාම මට කෝල් කරලා බන්දු ඒ ගැන කිව්වා. ඒ විදියට ටෙනී උඹට මෙහෙම කිව්වා බන්දු උඹට මෙහෙම කිව්වා. කිය කියා අපි දෙන්නට කේලම් කී අය අනන්තවත් හිටියා.

ආරියවංශ කුලතිලක