රමිත් රඹුක්‌වැල්ල අත්අඩංගුවට

නාරාහේන්පිට, නාවල පාරේදී රිය අනතුරක්‌ සම්බන්ධයෙන් වූ බහින් බස්‌ වීමකදී නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසුවකුට පහර දෙන ලදැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම නියෝජනය කළ රමිත් රඹුක්‌වැල්ල 09 වැනිදා රාත්‍රි අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කියයි.

මොහු රාත්‍රි 11.00 ට පමණ අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේ බීමතින් සිටි බව නාරාහේන්පිට පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌  ඊයේ (11 වැනිදා) පැවැසීය.

අත්අඩංගුවට ගත් ක්‍රිකට්‌ ක්‍රීඩක රමිත් රඹුක්‌වැල්ල, හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්‌වැල්ල මහතාගේ පුත්‍රයා වෙයි.

හෙතෙම සිය මෝටර් රථය නාවල පාරේ පදවාගෙන යන අවස්‌ථාවේ රථය එක්‌වරම දකුණු පැත්තට හැරවීමට යැමේදී ඉදිරියෙන් පැමිණි විවෘත විශ්වවිද්‍යාලයීය සිසුන් දෙදෙනා ගමන්ගත් යතුරුපැදියේ හැපී ඇති අතර එහිදී සිසුන් දෙදෙනා බිම වැටී තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

මෙහිදී එක්‌ සිසුවකු රමිත් රඹුක්‌වැල්ල සමඟ බහින් බස්‌ වී ඇති අතර එම අවස්‌ථාවේ මෙම පහරදීම සිදුව ඇතැයි පැවසේ.

තුවාල ලැබූ සිසුන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇත. බීමතින් රිය පැදවීමේ චෝදනාව මත ක්‍රිකට්‌ ක්‍රීඩක රමිත් රඹුක්‌වැල්ල මහතාට එරෙහිව නඩු පවරන බවත් ඒ අනුව ඔහුට හෙට (13 වැනිදා) අලුත්කඩේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී මුදාහැරිය බවත් රිය අනතුරට මුහුණ පෑ විශ්වවිද්‍යාලයීය සිසුන් දෙදෙනා සිද්ධිය සමථයකට පත් කර ගැනීමට කැමැත්ත පළ කළ බවත් එම නිලධාරියා කීය.

සැකකාර රමිත් රඹුක්‌වැල්ල පැය 10 කට අධික කාලයක්‌ පොලිස්‌ කූඩුවේ රඳවා සිටි බවද එම නිලධාරියා කියා සිටියේය.

මේ පිළිබඳව නාරාහේන්පිට පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ගයාන් ප්‍රසන්න මහතාගේ උපදෙස්‌ මත ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ධර්මකීර්ති, පොලිස්‌ පරීක්‌ෂක සිල්වා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‌ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා