ගත් කතුවර ඇරැව්වල නන්දිමිත්‍ර සමුගනී

රාජ්‍ය සම්මානලාභී නවකතා කරුවෙකු සහ ප්‍රවීන සාහිත්‍ය ධරයෙකු වන ඇරැව්වල නන්දිමිත්‍ර මහතා අද (04) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතරව සිටි ඒ මහතා සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු කියති.

වසර 53ක කාලයක් අඛණ්ඩ සාහිත්‍ය මෙහෙවරක යෙදී සිටි ඔහු විසින් ලියන ලද නවකතා කෙටිකතා රැසකට සාහිත්‍ය සම්මාන හිමිව තිබූ අතර ඔහු විසින් ලියන ලද මල්දෙනියේ සිමියොන් නවකතාව සිනමාවටත් ජීවිතය සුන්දරය නවකතාව ටෙලි නාට්‍යයකටත් නැංවී තිබේ.

ඒ හැරුණු කොට ඔහු විසින් ලියන ලද ගංතෙර තෙරණිය, පද්මාවතී, ගම්බද කළ්‍යාණි, තරුණාවේශය, ගිනි, පුංචි තරුවක් පායලා, ජීවිතයේ කොටස් කාරයෝ, මිහි සරණ, මම සමුනොගනිමි, මල් මදාරා, කඳුළක් සිනාසෙයි, අමා දොරටුව, ලබු මල සුවඳ නැත, මම නුඹ සිඹිමි ආදී නවකතා කෙටිකතා රාශියක් පාඨක විචාරක දෙපාර්ශවයම ඇගයුමට ලක් විය.

1939 වසරේදී උපන් ඇරැව්වල නන්දිමිත්‍රයන් පාඨක ලොවට පිවිසෙන ලද්දේ 1965 වසරේ කය මිස සිත නැති කෙටිකතා සංග්‍රහයෙනි. ගුවන් විදුලි නාට්‍ය රචනයෙන්ද ඔහු දැක්වූ දක්ෂතා අතිවිශිෂ්ඨය.

මුලින් රාජ්‍යසේවයේ යෙදී සිටියද ඉතා නිරහංකාර අහිංසක ගැමි දිවි පෙවතක් ගතකළ ඔහු ප්‍රදේශයේ පොදු වැඩ වලදීද පෙරමුණ ගෙන ක්‍රියා කර ඇත.

ඇරව්වල නන්දිමිත්‍රයන්ගේ අවසන් කටයුතු ලබන බදාදා පන්නිපිටිය ඇරැව්වලදී සිදු කිරීමට නියමිතය.