ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු තහනම යළි හකුලා

ශ‍්‍රී ලංකාව තුළ ඇස්බැස්ටෝස් තහනම ක‍්‍රියාත්මක කිරීම කල් දැමීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඒ, ඊයේ (19) පැවති කැබ්නට් මණ්ඩල රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමත් සමගයි.

එහිදී අමාත්‍ය නවීන් දිසානායක විසින් රුසියාවෙන් ගෙන්වන ඇස්බැස්ටෝස්වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී අදහස් දක්වා ඇති බවයි වාර්තා වුණේ.

එම කරුණු පදනම් කරගෙන 2018 ජනවාරී මාසයේ සිට ක‍්‍රියාත්මක වීම ආරම්භ කිරීමට තිබූ ඇස්බැස්ටෝස් ආශ‍්‍රිත නිෂ්පාදන ආනයනය හා භාවිතය සීමා කිරීම කල් දැමීමටයි තීරණය කර ඇත්තේ.

2024 වසරේ සිට ඇස්බැස්ටෝස් ආශ‍්‍රිත නිෂ්පාදන ශ‍්‍රී ලංකාව තුළ සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට 2016 වසරේ සැප්තැම්බර් මාසයේ දී ආණ්ඩුව තීරණය කළා.

කෙසේ වෙතත් ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී වැඩිදුරටත් තීරණය වී ඇත්තේ රුසියාවෙන් ගෙන්වන ඇස්බැස්ටෝස්වල ගුණාත්මකභාවය පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් රුසියාව බලා පිටත්කර හැරීමටයි.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ කණ්ඩායමක් එහිදී පිටත්කර හරිනු ඇති. ඔවුන් විසින් සෞඛ්‍ය අධ්‍යයන වාර්තාවක් ද ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර ශ‍්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා ඊයේ (19) සහ පෙරේදා (18) යන දින 02දීම වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මුණගැසී තිබුණා.

ඊයේ එම හමුව සිදුව තිබුණේ කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුවයි. එහිදී කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා දැනුවත් කර ඇති බවද සඳහන්. එම තීරණය සම්බන්ධයෙන් ඔහු සතුට පළ කර ඇති බවයි නෙත් නිව්ස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.

රුසියාව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම තේ ගැණුම්කරුවා වනවා සේම ශ‍්‍රී ලංකාව ප‍්‍රධාන වශයෙන් ඇස්බැස්ටෝස් ගෙන්වන්නේ රුසියාවෙන්.

ශ‍්‍රී ලංකාවේ තේ සඳහා රුසියාව පැනවූ තහනම පිටුපස ඇත්තේ ද සෞඛ්‍යයට හානි කරන ඇස්බැස්ටෝස් ආනයනයට ශ‍්‍රී ලංකාව පැනවූ තහනම විය හැකි බවටයි ඇතැම් පාර්ශ්ව විශ්වාසය පළ කළේ.