වීරවංශ අතහැර පියසිරි-වීරකුමාර ශ‍්‍රීලනිපයට එක්වෙයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයට එකත්ව තිබේ.ඔහුත් සමග ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකව සිටි පියසිරි විජේනායක මහතාද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්ව ඇත.


ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මුණ ගැසී ඔවුන් දෙදෙනා අද දිනයේ මෙසේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය සුරැකීමට කැපවීම විනා එයට අදාළ අමාත්‍යාංශය භාර ගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වූ වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසයි.
මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේ මෙතෙක් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ තමන් ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ්‍රීලනිප) එක් වීමට හේතු පැහැදිලි කරමිනි.
ශ්‍රීලනිපයට එක්වීමත් සමග ඔහුට නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය පිරිනැමීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණ.
එහෙත් ජනාධිපතිවරයා තමන්ට එවැනි කිසිදු ප්‍රතිඥාවක් ලබා නොදුන් බව සඳහන් කළ වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා,"ඕව එක එක්කෙනා කියපු මතනේ. නීතිය හා සාමය රටේ තියාගන්නයි අපි බලන්නේ, අපිට ගන්න නෙවෙයි," යනුවෙන් ද වැඩිදුරටත් පැවසීය.

මෑතක් වන තුරු ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ධුරය හෙබැවූ පියසිරි විජේනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.බී කුමාර තමන් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් බව ද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ "ඓතිහාසික කාර්යභාරයක් ඉටු කළ" පක්ෂයක් බව සඳහන් කළ මන්ත්‍රීවරයා, එම පක්ෂය බෙදා වෙන් කිරීමට "විවිධ බලවේග ක්‍රියාත්මක වන" බැවින් පක්ෂයට ශක්තියක් වීම පිණිස තමන් ශ්‍රීලනිපයට එකතු වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
ජාතික නිදහස් පෙරමුණ තුළ වසරකට වැඩි කාලයක් සිය ස්ථාවරය පැහැදිලි කළත් එයින් ප්‍රතිඵලයක් අත් නොවූ බව ද වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රීවරිය ද ඉරිදා (දෙසැ 09) ජනාධිපතිවරයා මුණ ගැසී ශ්‍රීලනිපයට සහාය පළ කර තිබේ.මේ අතර හූරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙනේ දී මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ, ඇතැම් මන්ත්‍රීවරුන් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්ව යන්නේ "ආසන බෙදාගැනීමට බැරිව" බවය.
"බලයේ ඉන්නකොටත් එහෙමයි, විපක්ෂේ ඉන්න කොටත් එහෙමයි. ඕන කෙනෙකුට යන්නත් පුළුවන්. ඕන කෙනෙකුට ඉන්නත් පුළුවන්," ඔහු පැවසීය.මේ අතර පසුගිය සතියේ පොදු ජන පෙරමුණේ නායකයෙකු වන බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද දෙපාර්ශවය එකමුතු කිරීමේ උත්සාහයක් දරා ඇතත්, එය සාර්ථක වී නැත.