අගමැති රනිල් බැඳුම්කර කොමිසමට කැඳවයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසමට කැඳවීමට පියවර ගන්නා බව කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා ඊයේ දැනුම් දුන්නේය.

ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොමසම විසින් රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකළ ප්‍රශ්නාවලියට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශයේ සඳහන් ඇතැම් කරුණු පැහැදිලි කරගැනීම සඳහා ඒ මහතා කැඳවීමට කොමිසම පියවර ගන්නා බව දැනුම් දුන්නේය.

මෙම තත්ත්වයන් පැහැදිලි කරමින් කොමිසම විශේෂ නිවේදනයක්ද නිකුත් කළ අතර, කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා එම නිවේදනය කොමිසමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී කොමිසමට දැනුම් දුන්නේය.

සාක්‍ෂිකරුවන් කිහිප දෙනෙකුගේ සාක්‍ෂි විමසීමට අවශ්‍ය බවට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව ඊ‍යේ විශේෂ සැසිවාරයක් පවත්වන බවත්,ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොමසම විසින් රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශ්නාවලියක් යොමුකළ අතර, ඔහු එයට දිවුරුම් පෙත්සමක් මගින් පිළිතුරු සපයා ඇති බවත් දැනුම් දුන් කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා, එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කරුණු තමන් ඉතා වුවමනාවෙන් හා දැඩි අවධානයෙන් කියවා බැලූ බවද සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා කොමිසමට එවූ එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් ඇතැම් කරුණු පැහැදිලි කරගැනීමට අවශ්‍ය බව තමන්ට හැඟීගොස් ඇතැයි දැනුම් දුන් කොමිසමේ සභාපති විනිසුරුවරයා, ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා කැඳවීමට කොමිසම තීරණය කර ඇති බව දැනුම් දුන්නේය.

හදිසි අනතුරකට ලක්ව පසුගිය ඔක්තෝබර් 17 වැනිදා ශල්‍යකර්මයකට ලක්කරන ලද කොමිසමේ සාමාජික විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා තවත් ශල්‍යකර්මයකට ලක්කළ යුතු හෙයින් ඉදිරි සති දෙකක කාලය තුළදී කොමිසමේ සැසිවාරයන් පැවැත්වීමට හැකියාවක් නොමැති බව පෙනවා දුන් සභාපති විනිසුරුවරයා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොමිසමට කැඳවා ඇති බව සහ ඔහුට කොමිසමට පැමිණීමට හැකියාව ඇති දින ලබාගැනීම සඳහා මේ කරුණු අග්‍රාමාත්‍ය කාර්යාලයට දැනුම්දී ඇති බවත්, ඉන් ලැබෙන පිළිතුරු අනුව කොමිසමේ ඉදිරි සැසිවාර පැවැත්වීම පිළිබඳ තීරණයක් ගන්නා බවත් සඳහන් කළේය.