පියසේනට ලොකු ඇමැතිකමක් !

ගීතා කුමාරසිංහ මහත්මියගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරය හිමිවන ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාට ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රබල අමාත්‍ය ධුරයක් ලබා දෙන ලෙස ශ්‍රී ලනිප ගාල්ල දිස්ත්‍රික් ජනතාව සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් හා පළාත් සභා මන්ත්‍රිවරුන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇතැයි දකුණු පළාත් සභා මන්ත්‍රි රත්ගම ශ්‍රී ලනිප ආසන සංවිධායක අමරසිරි කුරුවගේ මහතා ගාල්ලේදී මාධ්‍යයට අදහස් දක්වමින් පැවැසීය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතළ පසුබෑමට ලක්වූ 89 දුෂ්කර සමයේදී පවා ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු අභියෝගවලට මුහුණ දෙමින් පක්ෂය ආරක්ෂා කළ නායකයා ලෙසත් සෑම අවස්ථාවකදීම මැතිවරණ සටන්වලදී ශ්‍රී ලනිපයට දිස්ත්‍රික්කයේ ශක්තිය තහවුරු කරමින් ජයග්‍රහණය ලබා දුන් ගාල්ල දිස්ත්‍රික්කය සංවර්ධන කටයුතුවලින් ඉදිරියට ගත් මේ නායකයාට පසුගිය රජය සමයේ සිදුවූයේ අසාධාරණයක්." යයි දඔහු සඳහන් කළේය.

''ඇමැතිකමක් ලැබුණොත් කරනවා''

මේ අතර, ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරීමට නුසුදුසු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පියසේන ගමගේ මහතා පැවසුයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපතිවරයකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කරන තමන්ට අධිකරණයෙන් සාධාරණය ඉටු වූ බවයි.

මේ නඩු තීන්දුවෙන් පසුව පාර්ලිමේන්තුවට යාමට බලාපොරොත්තු වන බව පැවසු ගමගේ මහතා, කිසිදු අවස්ථාවක ඒකාබද්ධ විපක්ෂයට එක්වීමේ බලාපොරොත්තුවක් නැති බවත්, දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස ගාල්ල දිස්ත්‍රික් ජනතාවට සේවය කිරීමට අපේක්ෂා කරන බවත් අවධාරණය කර සිටියේය.

''ඇමැතිකමක් ලැබුණොත් කරනවා. නමුත් මම කවදාවත් පස්සෙන් ගිහින් ඇමැතිකම් ඉල්ලලා නෑ. වසර 17ක යු.එන්.පී. පාලනය නැති කරන්න දකුණේ ප්‍රමුඛතාව ගත්තේ රිචඩ්, දොඩංගොඩට පස්සේ මම. නමුත් රාජපක්ෂ මහත්මයා මම ජ්‍යෙෂ්ඨ ඇමැති කරා. නමුත් මම පස්සෙන් ගිහින් ඇමැතිකම් ඉල්ලුවේ නෑ. එහෙම කරන මිනිස්සු නොවේ අපි. දුන්න දේ කරගෙන මම හිටියා.

දුන්න ඇමැතිකමෙන් ගාල්ලට, රටට වැඩ කළා. ඒ වගේම ඉතින් මේ සැරෙත් ඇමැතිකමක් ලැබුණොත් හොඳට වැඩ කරනවා.'' යයි ද ඔහු එහිදී පැවසිය.

හත්වන ස්ථානයේ සිට පාර්ලිමේන්තුවට :

පසුගිය මැතිවරණයේ දී මනාප ඡන්ද 63955ක් ලබාගනිමින් එජනිස ලයිස්තුවේ 5 වන ස්ථානය දිනාගත් ගීතා කුමාරසිංහ මහත්මියට සිය පාර්ලිමේන්තු ‍අසුන අහිමි වූ අතර පසුගිය මහ මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ එජනිස යටතේ තරග කර හත්වන ස්ථානය දිනාගත් හිටපු ඇමැති පියසේන ගමගේ මහතාට එයින් හිස්වන පාර්ලිමේන්තු අසුන හිමිවීමට නියමිතව ඇත.

පසුගිය මහමැතිවරණයේ දී ඡන්ද 47248ක් ලබා ගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ හත්වන ස්ථානයට පත් වූයේ හිටපු ඇමැති පියසේන ගමගේ මහතායි.