ලක්ෂ ගණන් මුදල් ගැරූ ලෝක හොරෙක් රිමාන්ඩ්

‘ව්‍යාපාරික අවශ්‍යතා සඳහා රුපියල් ලක්ෂ තුනේ සිට රුපියල් ලක්ෂ අට දක්වා අපෙන් ණය ලබාගත හැක’ යනුවෙන් සති අන්ත පුවත්පත්වල දැන්වීම් පළකර රටේ විවිධ ප්‍රදේශයන්හි පුද්ගලයින් විශාල ප්‍රමාණයකගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ පුද්ගලයකු පිළියන්දල ‍පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (01) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, පිළියන්දල ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම සැකකරු ඉකුත් 29 දා අත්අඩංගුවට ගෙන කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (30) ඉදිරිපත්කර ඇත. සැකකරු අද (01) දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මෙම සැකකරු පිළියන්දල, මාම්පේ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකි.

සැකකරු දැනට වසර දෙකක පමණ කාලයක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇතැයි ‍පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයා සති අන්ත ජාතික පුවත්පත් කීපයක ව්‍යාපාරික අවශ්‍යතා සඳහා රුපියල් ලක්ෂ තුනේ සිට රුපියල් ලක්ෂ අට දක්වා අපගෙන් ණය ලබාගත හැකිය.යනුවෙන් දැන්වීමක් පළකර එහි දුරකථන අංකයක්ද සඳහන්කර ඇත.
මෙම දුරකථන අංකයට ඇමතූ පසු සියයට 6 ක් වැනි අඩු ‍පොලියකට ණය මුදල ලබාදෙන බව පවසමින්,එහි විවිධ ‍ලේඛන කටයුතු වලට බව පවසමින් වරින් වර එක් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ හතක් පමණ මුදල් වංචාකර ඇතැයි ‍පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම වංචාවට හසුව රුපියල් ලක්ෂ හතක මුදලක් අහිමිවූ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පුද්ගලයකු කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට ‍පොලිසිය කටයුතු කළේය.

පුවත්පත් දැන්වීම දැක යම් අයකු එහි දුරකථන අංකයට ඇමතුමක් ලබාදුන් පසු ලියාපදිංචි ගාස්තුව වශයෙන් රුපියල් 4200 ක මුදලක් එවන ලෙස මෙම සැකකරු දන්වා ඇත.එම මුදල යැවූ පසු ටික දිනකට පසු නීතිඥ ගාස්තු වශයෙන් රුපියල් රුපියල් 38500ක මුදලක්ද අයකර ඇත. ‍ලේඛන ගාස්තු ලෙස රුපියල් 35000ත් 40000ත් අතර මුදලක්ද අයකරගෙන ඇත. පසුව සැකකරු මුදල් එවූ පුද්ගලයාට යළි ඇමතුමක් ලබාදී මුලින් දැනුම් දීමට අමතක වූ බව පවසමින් රුපියල් 42500ක පමණ රක්ෂණ ගාස්තුවක්ද අයකරගෙන තිබේ.

මෙලෙස වරින් වර විවිධ කාරණා පවසමින් රුපියල් ලක්ෂ ගණනින් රටේ විවිධ පුද්ගලයින්ගෙන් මෙම පුද්ගලයා මුදල් වංචා කර ඇතැයි ‍පොලිසිය පවසයි.

මෙම සැකකරු මෙලෙස දිවයින පුරා පුද්ගලයින් 500කගෙන් පමණ මුදල් වංචා කරන්නට ඇතැයි ‍පොලිසිය සැකපළ කරයි.

මෙම වංචාව සම්බන්ධව ‍පොලිසිය සැකකරුගෙන් විමසීමේදී පවසා ඇත්තේ තමන්ද මෙවැනිම වූ වංචාවකට හසුවූ බවත්, ඉන් පසුව තමාද මෙලෙස වංචාකර මුදල් ඉපැයීමට සිතාගත් බවය.

පිළියන්දල ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

සාලිය කුමාර ගුණසේකර