අනිකාට මරණ තර්ජන කළේ නෑ - ෂමිල්

අනිකා විඡේසූරිය මහත්මිය භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව සාක්‍ෂි දුන් නිසා තමා ඇයට මරණීය තර්ජනයක්‌ කළැයි ඇගේ සොහොයුරා කළ පැමිණිල්ලක්‌ මත රහස්‌ පොලිසිය තමා අත්අඩංගුවට ගැනීමේ අවදානමක්‌ ඇති බැවින් එය වළක්‌වාලන නියෝගයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යාපාරිකයකු වන දොන් ෂමිල් නෙත්තිකුමාර මහතා ඊයේ (31 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කළේය.

පෙත්සම්කරු සිය පෙත්සමෙන් කියා සිටින්නේ අනිකා විඡේසූරිය මහත්මියට හෝ ඇගේ සොහොයුරා වන විජිත් විඡේසූරිය මහතාට තමා කිසි දිනෙක මරණීය තර්ජනයක්‌ නොකළ බවයි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමෙන් තොරව තමා අත්අඩංගුවට ගනු ලැබුවහොත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 12 (1) 13 (1) 13 (4) සහ 13 (5) යන වගන්තිවලින් සහතික කොට ඇති තමාගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දු කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා ඇත.

පොලිස්‌පති පූජිත් ජයසුන්දර, රහස්‌ පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර, රහස්‌ පොලිස්‌ ස්‌ථානාධිපත,s අනිකාගේ සොහොයුරු විජිත් විඡේසූරිය සහ නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

පෙත්සම්කරු වැඩිදුරටත් කියා සිටින්නේ විජිත් විඡේසූරිය නමැත්තා සමඟ දිනක්‌ කොල්ලුපිටියේ පිහිටි 'ලව් බාර් ක්‌ලබ්' නමැති හෝටලයේදී උණුසුම් කතාබහක්‌ ඇතිවූවා හැර කිසිදු හේතුවක්‌ මත ඔහු හෝ ඔහුගේ සොහොයුරිය වන අනිකා විඡේසූරිය මරණ බවට තමා තර්ජනය නොකළ බවයි.

තමා එවැනි තර්ජනයක්‌ කළ බවට බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ පැවසුවේ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා බවත් මුද්‍රිත මාධ්‍යවල පළවූ එම පුවත දැක තමා විමතියට පත්වූ බවත් ඔහු කියා සිටී.

තමා හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ 'බෑණා' යෑයි විජිත් විඡේසූරිය කළ පැමිණිල්ලේ සඳහන් කර තිබුණු නමුත් එය අසත්‍යයක්‌ බවත් කරුණානායක මහතා සමඟ කිසිම ඥති සම්බන්ධයක්‌ නැති බවත් ඔහු තමාගේ පවුලේ සාමාජිකයන්ගේ මිත්‍රයකු බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

පෙත්සමේ මුලින්ම සඳහන් කර ඇති අන්දමට පෙත්සම්කරු 28 හැවිරිදි මොරොන්තුඩුව මහගෝනදූව පදිංචිකරුවෙකි. නැසීගිය තම පියාගෙන් උරුම වූ කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි 'සලාකා' ව්‍යාපාරික ආයතනයේ සේවය කිරීම හැර වෙනත් ව්‍යාපාර කිසිවක්‌ ඔහුට නැත.

විජිත් විඡේසූරිය ඔහුගේ පාසල් මිතුරෙකි. කොළඹ ජාත්‍යන්තර පාසලේ 1994 සිට 2005 දක්‌වා ඔවුන් අධ්‍යාපනය හදාරා ඇත. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ අයිතිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ද එම විදුහලේ ඉගෙනුම ලැබූ පෙත්සම්කරුගේ හිතවත් මිතුරෙකි. රවි කරුණානායක මහතාගේ දියණියන් ද එම විදුහලේ ඉගෙනීම ලබා ඇත.

විජිත් විඡේසූරිය පෙත්සම්කරුගේ වැඩිමහල් සොහොයුරිය වන ලක්‍ෂ්මී නෙත්තිකුමාර සමඟ ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වා ඇති අතර පෙත්සම්කරු ඊට තදින් විරුද්ධත්වය පළකර ඇත. ඔහුගේ විරෝධය නොතකා සොහොයුරිය විජිත් විඡේසූරිය සමඟ දිගටම සම්බන්ධකම් පවත්වා ඇති නමුත් වසර දෙකකට පමණ පසුව ඇය ඒ සම්බන්ධය අතහැර දමා මේ වසරේදී වෙනත් අයෙක්‌ සමඟ විවාහ වී ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ එම ප්‍රේම සම්බන්ධයට ඔහු විරුද්ධ වූ නිසා විජිත් විඡේසූරිය තමා සමඟ උරණ වී සිටින බවයි. ඔහුගේ සොහොයුරියට තමා මරණ තර්ජනයක්‌ කළැයි ඔහු තමාට එරෙහිව අසත්‍ය පැමිණිල්ලක්‌ කර ඇත්තේ ඒ තරහට බව ද පෙත්සම්කරු කියා සිටී.

නීතිඥ සනත් විඡේවර්ධන මහතා මගින් පෙත්සම ගොනුකර තිබිණි.

මෙම පෙත්සම අද (1 දා) හෝ හෙට (2 දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවන ලෙස ද ඉල්ලීමක්‌ කර ඇත.