ප්‍රභාගේ සිරුර දුටු විට කනගාටුවක් දැනුනා - රාහුල් ගාන්ධි

එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මළ සිරුරු දුටු විට කනගාටුදායක හැඟීමක් ඇති වූ බව ඉන්දීය ජාතික කොංග්‍රසයේ උපනායක රාහුල් ගාන්ධි පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය අද (11) වාර්තා කළේය.

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන රජිව් ගාන්ධි හා ඔහුගේ බිරිඳ මෙන්ම ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායිකාව වන සෝනියා ගාන්ධිගේ පුත්‍රයා ද වන රාහුල් ගාන්ධි ඒ බව පවසා ඇත්තේ ගුජරාට් ප්‍රාන්තයේ වධෝදරා හිදි ව්‍යාපාරික ප්‍රජාවක් අමතමිනි.

හිටපු අගමැති රජිව් ගාන්ධි ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයට චෝදනා එල්ල විය. එම සංවිධානය එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉන්දියාවේ ළාබලතම අග්‍රාමාත්‍යවරයා වූ රජිව් ගාන්ධි ඝාතනයට ලක්වූ අතර එම ප්‍රහාරයෙන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පුත් රාහුල් ගාන්ධි මෙසේ ද පවසා තිබේ.

“ අපේ පවුල මහත්මා ගාන්ධි අනුව කටයුතු කරන පවුලක්. මම මගේ තාත්තාගේ ඝාතකයගේ සිරුර දැක්කා. ප්‍රභාකරන්ගේ සිරුර දුටු විට මට කනගාටුවක් ඇති වුණා. මම ඒ ගැන ප්‍රියංකටත් කිව්වා. ප්‍රියංකත් කිව්වා ඇයටත් කනගාටුවක් ඇති වූ බව”.