අත්අඩංගුවට ගත් පුද්ගලයකුට ඒ.එස්.පී කනට ගහලා

හම්බන්තොට විරෝධතාවයේ දී පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයකුට සහකාර පොලිස් අධිකාරීවරයකු කණට ගසා ඇතැයි පොලිස් ආරංචි කියයි.

පොලිසියේ දෙදෙනකු විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබ ගෙන එද්දී එතැන සිටි සහකාර පොලිස් අධිකාරීවරයකු සැකකරුගේ කණට ගසන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද අද (06) සමාජය වෙබ් අඩවි පළ කර තිබිණි.

පහරකෑමට ලක්වූ පුද්ගලයා සති අන්ත පුවත්පතක නිදහස් මාධ්‍යවේදියකු බව ද දැනගන්නට තිබේ.

කිසිම සැකකරුවකුට අත්අඩංගුවට පත්වූ පසු පහර දිය නොහැකි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. දිවුලපිටිය පොලිසියේ අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ඊයේ (06) අත්අඩංගුවට පත්වූයේ ද එවැනි සිදුවීමක් නිසා යැයි ද එම නිලධාරියා කීවේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් මේ ගැන විමසීමේදී ඒ මහතා පැවසුවේ සැකකරුවකු අත්අඩංගුවට ගත් පසු පහර දිය නොහැකි බවයි. හම්බන්තොට පහරදීමේ සිද්ධිය ගැන සොයා නොබලා ප්‍රකාශයක් කළ නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.