බැඳුම්කර වෙන්දේසියට උපදෙස්‌ දුන්නේ රනිල්

භාණ්‌ඩාගාර බැඳුම්කර ප්‍රසිද්ධ වෙන්දේසි ක්‍රමයට පමණක්‌ නිකුත් කරන්නැයි තමාට උපදෙස්‌ දුන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ (02 දා) ප්‍රථම වතාවට ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේය.

කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහේන්ද්‍රන් මහතා මේ බව කොමිසමට කීවේය. අගමැතිවරයා භාණ්‌ඩාගාර බැඳුම්කර ඝෘජු නිකුතු ක්‍රමය නැවැත්වීමට තමාට උපදෙස්‌ දුන් බවද ඒ අනුව තමා 2015.02.27 දින ඝෘජු නිකුතු ක්‍රමය නැවැත්වීමට මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට උපදෙස්‌ දුන් බවද අර්ජුන මහේන්ද්‍රන් මහතා කීවේය.

ඝෘජු නිකුතු ක්‍රමය නවත්වන ලෙස අගමැතිවරයා තමාට කියා සිටියේ 2015.02.24 දින ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්‌ඩල අනුකමිටු රැස්‌වීමේදී බවද අර්ජුන මහේන්ද්‍රන් මහතා කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.

ඝෘජු නිකුතු ක්‍රමය ගැන අධ්‍යයනයක්‌ නොකළ බවද රාජ්‍ය ණයට අදාළ මහ බැංකු අත් පොතේ මේ ගැන පැහැදිලිව සඳහන්ව ඇති බවද ඒ සඳහා අධ්‍යයනයක්‌ සිදුකිරීමේ අවශ්‍යතාවක්‌ නැති බවද මහේන්ද්‍රන් මහතා කීවේය.

ඒ අනුව 2015.02.27 දින දවල් භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ ඝෘජු නිකුතු ක්‍රමය නැවැත්වීමට තමා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරිවරියට පැහැදිලි උපදෙස්‌ දුන් බවද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහේන්ද්‍රන් මහතා කීවේය.

භාණ්‌ඩාගාර බැඳුම්කර ඝෘජු ක්‍රමයට නිකුත් කිරීම නැවැත්වීමේ තීරණය තමා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයට දැනුම් දුන්නේ 2015.03.06 දින බවද මහේන්ද්‍රන් මහතා පිළිගත්තේය.

මෙහිදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා සාක්‍ෂිකරු අමතමින් භාණ්‌ඩාගාර බැඳුම්කර ඝෘජු නිකුතු ක්‍රමය නැවැත්වීමට මුදල් මණ්‌ඩලය කිසිම අවස්‌ථාවක තීරණයක්‌ නොගත් බව කියා සිටියේය.

එහෙත් ඊට තමා එකඟ නොවන බව මහේන්ද්‍රන් මහතා කීවේය.