බාල දියණිය ගැබිනියක කළ සැකකාර පියා රිමාන්ඩ්

තම බාල දියණිය බලහත්කාරයෙන් දූෂණය කොට ගැබිනියක බවට පත්කළේ යෑයි යන චෝදනාව යටතේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන 16 දා වව්නියාව දිසා විනිසුරුවරයා වෙත ඉදිරිපත් කරන ලද වව්නියාව, නොච්චිකුලම ප්‍රදේශයේ තිදරු පියකු නොවැම්බර් මස 31 වැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කොට තිබේ.

මව නිවසේ නොමැති අවස්‌ථාවක මුලින්ම සැකකාර පියා විසින් තම දියණිය බිය ගන්වා දූෂණය කොට ඇති බවත්, එම සිද්ධිය මවට හෝ වෙනත් අයෙකුට පැවසුවහොත් ඇය මරාදමන බවටද තර්ජනය කොට ඇති බවත් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

මෙම දැරිය උදරාබාධයකින් පෙළුණු බැවින් ඇයට ප්‍රතිකාර ලබා ගැනීම පිණිස මව දියණිය සමඟ වව්නියාව මහ රෝහලට ගිය අවස්‌ථාවේදී ඇය දෙමසක ගැබිනියක බව තහවුරු වී ඇත.

පසුව මවගෙන් හා දියණියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සිද්ධිය පොලිසියට දැනුම්දී ඇත. වව්නියාව රෝහල් පොලිසියත්, ඊච්චන්කුලම පොලිසියත් එක්‌ව සැකකරු අත්අඩංගුවට ගෙන වව්නියාව පොලිසියට භාරදී තිබේ.