මගේ රහත්බව පරීක්‍ෂා කරන්න ජනාධිපති කවුද.. පිටිදුවේ හිමි

දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය සරි සමන්තභද්‍ර හිමියන් විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති ලිපයක් පහතින් දැක්වෙයි.



2017 10 12
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ,
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 01,

අතිගරු ජනාධිපතිතුමනි.

බුද්ධශාසන කාර්‍යසාධක මණ්ඩලයේ ත්‍රිකුණාමලේ ආනන්ද නා හිමි හා අගලකඩ සිරිසුමන හිමි මගින් ඔබතුමා වෙත ඉදිරිපත් කොට ඇති සාවධ්‍ය ලිපිය සම්බන්ධව

උක්ත ලිපියෙහි සඳහන් පරිදි එම හිමිවරුන් පවසා ඇත්තේ මා විසින් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ පුජනිය දළදා වහන්සේ හා ළලාට ධාතුන් වහන්සේ උරූ දතකට හා සිප්පි කටුවකට සමාන කර ඇති බවයි. මෙය මුළුමනින්ම සාවධ්‍ය පුවතකි. නි ධර්ම දේශනාවක දි පැහැදිලි කල උපමාව හා උපමේය නිසියාකාරව තේරුම් ගැනීමට අසමත්කම, එම වීඩියෝ පටය නිසියාකාරව නොබැලීම හෝසි විශ්ලේෂණයකින් තොරව කවුරුන් හෝ ප්‍රකාශ කරන ලද කරුණු සත්‍ය යැයි සිතා නුගත් කමින් මෙවැනි අදහස් පල කොට මෙරටෙහි අතිගරු ජනාධිපති වරයා මෙන්ම සමස්ත සමාජයම නොමගයැවීමේ මෙවැනි පහත් ක්‍රියාවන් අප කිසිසේත්ම අනුමත නොකරන්නෙමු. මා හට නැවතත් කීමට ඇත්තේ එම වීඩියෝ පටය නැවතත් නරඹන ලෙසය.එය අද වන විට මෙරට තුල බොහෝ සර්වඥ ධාතුන් වහන්සේලා යැයි ලේබල් ගසා බොදු ජනයා මිත්‍යාවෙන් හා බොරුවෙන් රවටමින් සිප්පි කටු, සත්ව දත් කොටස් හා අශ්ව කෙඳි සර්වඥ ධාතුන් යැයි පවසා මහජන මුදල් ගසා කන ව්‍යාපාර පිළිබඳව සිදු කරන හෙළිදරව්වක් විනා එහි දී මා විසින් කිසිඳු අයුරකින් පුජනිය දළදා වහන්සේ හා ලලාට ධාතුන් වහන්සේට අපහස කොට නැත.

තවදුරටත් උන්වහන්සේලා දෙනම පවසන්නේ මා රහතන්වහන්සේ නමක් ලෙස නිර්ලජ්ජිතව පෙනී සිටින බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසද ඔබ තුමාගෙන් අයැද තිබේ. මේ සම්බන්ධයෙන් උන්වහන්සේලා කල යුත්තේ රටෙහි ජනාධිපතිවරයා හට ලිපි ලිවීම නවතා උන්වහන්සේලා දෙනම පැමිණ, මා සැබෑවටම සත්‍යාවබෝධ කලේද නැද්ද යන්න පරික්ෂා කිරීමය. මක්නිසාද ඒ මාර්ගය හා දහම පිළිබඳවද කරුණු කාරණා නිසි පරිදි අවබෝධ කර ඇත්තේ උන්වහන්සේලා මිස දේශපාලන ප්‍රවීනයන් නොවන බැවිනි. මෙම හිමිවරු දැනට අවුරුදු 7 ක කාලයක සිටම මෙලෙස ලිපි සකස් කරමින් සිටියි. එහෙත් ඉන් කිසිඳු ප්‍රථිපලයක් නොමැත්තේ උන්වහන්සේලා හට මා ඉදිරියට විත් සත්‍ය, අසත්‍ය කුමක්දැයි සාකච්චා කිරීමට තරම්වත් ආත්ම ශක්තියක් හා විශ්වාසයක් නොමැති කමයි.

එසේම ඕනෑම භික්ෂුවකට විප්ලවවාදී අදහස් දැරිය හැක. එසේ පවසන්නේ සමාජයේ පවතින මිත්‍යාව කණ්ඩනය කොට සත්‍ය සමාජගත කිරීමට විනා රැකියා කොට මාසික වේතන බලාපොරොත්තුවෙන් නොවේය. බුදු දහම යනු වෙහෙර විහාර හෝ ගොඩනැගිලි නොවේය. එය හුදෙක් ගෞතම බුදුන් වහන්සේගේ පණිවිඩයයි. එවකට ජිවත් සිටි වල්පොල රාහුල වැනි ශ්‍රේෂ්ඨ විප්ලවවාදී භික්ෂුන්ගේ ” සත්‍යෝදය” , ” භික්ෂුවකගේ උරුමය” වැනි ග්‍රන්ථ මෙම හිමිවරු දෙනම කියවා නැත. එදා එම ශ්‍රේෂ්ඨ යතිවරු සමාජයේ සාම්ප්‍රදායිකව අටුවම් බැසගත් අදහස් බැහැර කරමින් සමාජයට ගැලපෙන නව අදහස් ඉදිරිපත් කල ද ඒවා වටහා ගැනීමට තරම් ප්‍රඥාවන්ත හා ප්‍රබුද්ධ සමාජක් බිහි නොවුයේ මෙවැනිම නුගත් භික්ෂුන් එදා ජිවත් වෙමින් සමාජය නොමග යවන කරුණු ඉදිරපත් කළ නිසාය.

කෙසේවෙතත් මෙම කරුණු පිළිබවද ත්‍රිකුණාමලේ ආනන්ද නා හිමි හා අගලකඩ සිරිසුමන හිමි යන දෙනමට පැවසීමට ඇත්තේ ඔබ දේපල සමග ඕනෑම මොහොතක විවෘත සභාවක හෝ මාධ්‍ය ඔස්සේ මෙම කරුණු සම්බන්ධයෙන් සාකච්චා කිරීමට හැකි බවත් එහිදි ඔබවහන්සේලා නිවැරදි ද මා නිවැරදි ද යන්න තීරණය කොට එම තීරණය ඔබතුමා හට දන්වන ලෙසටය.

මේ වගට

සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ.

පිටපත් :-බුද්ධශාසන කාර්‍යසාධක මණ්ඩලය