“රෝහින්ග්‍යාවරු” 30 දෙනෙක් ගල්කිස්සෙන් හමුවෙයි

ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක රෝහින්‍යා සරණාගතයින් සිට ඇති බවට ලද තොරතුරක් මත භික්ෂූන්වහන්සේලා ඇතුළු පිරිසක් අද දිනයේදී එම නිවස වටලා තිබෙනවා.

මේ සිද්ධිය එම ස්ථානයේ සිටි පිරිස් විසින් ෆේස්බුක් ඔස්සේ සජීවීව ප්‍රචාරය කර ඇති අතර භික්ෂූන්වහන්සේලාගේ දැනුම්දීම මත එම ස්ථානයට පොලිසියද පැමිණ තිබෙනවා.

අදාළ නිවසෙන් මුස්ලිම් ජාතිකයෙකුද පැමිණ ඇති අතර ඔහු රාජ්‍ය නොවන සංවිධානයක සේවයේ නිරත වන බවට පවසා තිබෙන බවයි වාර්තා වන්නේ. එම නිවසේ මියන්මාර ජාතිකයන් කිහිප දෙනෙකුද රැඳී සිටින බවටද ඔහු විසින් පවසා තිබෙනවා.

කෙසේවෙතත් පොලිසීය විසින් අදාළ නිවස පරීක්ෂා කර ඇති අතර ඒ මොහොතේ එහි සිටි 30 දෙනෙකු ඇතුලු පිරිස පිටතට ගෙන එම සියලු දෙනාම පොලිස් ජීප් රථයකින් රැගෙන ගොස් තිබෙනවා.

එම 30 දෙනා අතර කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින් 07 දෙනෙකු බැගින් සිටි බවත් ළමුන් 16 දෙනෙකු සිටි බවත් වාර්තා වනවා.

මෙම අවස්ථාවට පැමිණි භික්ෂූන්වහන්සේලා ද චෝදනා කර සිටියේ මීගමුව,හලාවත,ත්‍රිකුණාමලය සහ විල්පත්තුව යන ප්‍රදේශ වලද 300 කට අධික රෝහින්‍යා සරණාගතයින් රැඳී සිටින බවයි.

මෙම සිදුවීමට අදාළව එම ස්ථානයේ සිටි පුද්ගලයෙක් ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කල වීඩියෝවයි මේ.