පර්පචුවල් ප්‍රධාන විධායකට කෝටි10ක බෝනස්

ර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පසුගිය 2016 වසරේදී එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතාට රුපියල් කෝටි10ක පාරිතෝෂික දීමනාවක් ගෙවා ඇති බව ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සෙවීම සඳහා පත්කළ බැඳුම්කර කොමිසමේදී හෙළි විය.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ‘සංතෝෂම්’ ලබන ‘ලිට්ල් ජෝන්ලා’ වශයෙන් හඳුන්වන වෙනත් ආයතනවල ප්‍රාථමික ගැනුම්කරුවන් පිළිබඳව විමසූ අවස්ථාවේදී පසුගිය 2016 වසරේදී කසුන් පළිසේන මහතාට රුපියල් කෝටි10ක පාරිතෝෂික දීමනාවක් ගෙවා ඇති බව හෙළිවූ අතර, ඒ බව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන බැඳුම්කර කොමිසම හමුවේ පිළිගත්තේය.

2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි (සභාපති),ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදුකෙරිණ.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ නැවත ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා මෙම දුරකථන සංවාදවලදී ‘%ලිට්ල් ජොන්ලා’ ලෙස හඳුන්වන්නේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් %‘සංතෝෂම්’ ලබන වෙනත් ආයතනවල ප්‍රාථමික ගැනුම්කරුවන් බව පිළිගත්තේය.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා.- ඒ ‘ලිට්ල් ජොන්ලා’ කවුද?

පිළි.- මා දන්නේ නැහැ.

ප්‍ර.- ඔබ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කරු හා එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළා නේද?

පිළි.- ඔව්.

ප්‍ර.- එහෙනම් ඒ ‘ලිට්ල් ජොන්ලා’ කවුද? කියන එක ඔබ නොදැන සිටීමට හේතුවක් නැහැ නේද?

පිළි.- මා දන්නේ නැහැ.

ප්‍ර.- පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පසුගිය 2016 වසරේදී පාරිතෝෂික දීමනාව වශයෙන් ඔබට කොපමණ මුදලක් ගෙව්වාද?

පිළි.- රුපියල් කෝටි10ක පාරිතෝෂික දීමනාවක් මට ගෙව්වා.

ප්‍ර.-2016 වසරේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වැඩිම පාරිතෝෂික දීමනාව ගෙව්වේ ඔබටද?

පිළි.- ඔව්.

ප්‍ර.- ඔබ 2016 වසරේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ වැඩිම පාරිතෝෂික දීමනාලාභියා නිසා ‘%ලිට්ල් ජොන්ලා’ කවුරුන්ද? කියන එක ඔබ හෙළි කරන්නේ නැහැ කියා මා යෝජනා කරනවා.

පිළි.- මා ඒ යෝජනාව පිළිගන්නේ නැහැ.