මම අස්වෙන්නෙ නෑ - විජේදාස රාජපක්ෂ

තමන් මේ මොහොතේ කැබිනට් අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වීමට අපේක්ෂා නොකරන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

පසුගිය සිකුරාදා දහවල් කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති හිටපු ආරක්ෂක ලේකම්වරයකු වන බී.එම්.යූ. බස්නායක මහතාගේ දියණියගේ විවාහ මංගල්‍ය උත්සව අවස්ථාවේ මේ ගැන ඔහුගෙන් ප්‍රශ්න කළ හිටපු අමාත්‍යංශ ලේකම්වරුන් හා වත්මන් අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා ඇතුළු මැති ඇමැති පිරිසක් මධ්‍යයේ රාජපක්ෂ මහතා මෙම ප්‍රකාශය කර ඇතැයි වාර්තාවේ. තමන් තනතුරින් ඉවත් නොවන බවත් රජය කැමැති තීන්දුවක් ගන්නා තෙක් බලා සිටින බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා ඇත.
එදා මෙන්ම අදත් තමන් නිවැරදි දේ කියන්නට බිය නොවන බවද ඔහු ප්‍රකාශ කර තිබේ. තමන් පසුගියදා කරන ලද ප්‍රකාශ සමඟ එකඟවන මහා සංඝරත්නය ප්‍රමුඛ සෑහෙන පිරිසක් තමන්ට සහය පළකරන බවද ඔහු සඳහන් කර ඇතැයි කියැවේ.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වත්මන් අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ මහත්වරුන් ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන් රාශියක්ද පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක ප්‍රමුඛ මැති ඇමැතිවරුන් ද සහභාගී වී ඇත.

දේශපාලන වාර්තාකරු |