ගෝඨාට එරෙහි නඩුවක් යළි කැඳවයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවරා ඇති නඩුවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (11) කැඳවනු ලැබිය.

මෙම නඩුව පවරා ඇත්තේ ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විස් සමාගමට අයුතු ලාභයක් උපයාගත හැකි පරිදි පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ දී රජයට රුපියල් බිලියන 11.4ක් පාඩු කළ බවට විත්තිකරුවන්ට චෝදනා කරමිනි.

විත්තිය විසින් ඊට එරෙහිව මූලික විරෝධතා අද දිනයේ ලිඛිතව ගොනු කරනු ලැබුවද පැමිණිල්ල වූ අල්ලස් කොමිසම හෝ නීතිපතිවරයා සිය විරෝධතා ගොනු කර නොතිබිණ.

මේ නිසා අධිකරණය නියම කළේ අද(11) සවස 3.30ට පෙර ලිඛිත දේශන ගොනු කරන ලෙසයි.

ඒවා සලකා බලා මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න පිලිබඳ සිය තීන්දුව නොවැම්බර් මස 17 වනදා ප්‍රකාශයට පත් කරන බව අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා පැවසිය.