වාහන දඩ වැඩි වෙයි අවම දඩය රු. 2500 යි

මෝටර් වාහන පනතේ ප්‍රකාශිතව දඬුවමක්‌ දක්‌වා නොමැති වරදක්‌ සඳහා පොදු දණ්‌ඩනය යටතේ අය කෙරෙන අවම දඩ මුදල රුපියල් 2500 දක්‌වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත.

ඊට අමතරව අධික වේගයෙන් රිය පැදවීම සඳහා වූ ස්‌ථානීය දඩය රුපියල් 15,000 දක්‌වා ඉහළ දැමීමටත්, වමෙන් ඉස්‌සර කිරීම සඳහා වරදට අවම ස්‌ථානීය දඩය රුපියල් 2,000 දක්‌වාත්, නොසැලකිලිමත්ව රිය ධාවනය සහ අනතුරුදායක අයුරින් රිය පැදවීම සඳහා රුපියල් දසදහසක අවම දඩයක්‌ නියම කිරීමටත්, අඩු වයසේ තැනැත්තන් රිය පැදවීම සඳහා වූ පවතින අවම දඩ මුදල රුපියල් පන්දහසේ සිට රුපියල් තිස්‌දහස දක්‌වා වැඩි කිරීමටත්,
දුරකථන භාවිත කරමින් රිය පැදවීම සම්බන්ධව රුපියල් 2,000 ස්‌ථානීය දඩ මුදලක්‌ නියම කිරීමටත්, රියෑදුරු බලපත්‍රයක්‌ නොමැතිව රිය ධාවනය, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීම, දුම්රිය මාර්ගයක්‌ තුළට අපරීක්‌ෂාකාරීව වාහනයක්‌ ඇතුළු කිරීම, වලංගු රක්‌ෂණාවරණයක්‌ නොමැතිව රිය ධාවනය යන වැරදි සඳහා අය කරන අවම දඩ මුදල රුපියල් විසිපන්දහස දක්‌වා වැඩි කිරීමටත් අදාළව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පෙරේදා (08 වැනිදා) පැවැති කැබිනට්‌ රැස්‌වීමට ඉදිරිපත් කළ කැබිනට්‌ යෝජනාව අනුමත වූ බව සම කැබිනට්‌ ප්‍රකාශක සහ ඉඩම් ඇමැති ගයන්න කරුණාතිලක මහතා ඊයේ (10 වැනිදා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙම කැබිනට්‌ පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වූ පසු ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.