ප්‍රින්ස් වෙනුවෙන් ඔබත් එන්න

කලාකරුවකු කිසිදා නොමැරේ යන කියමන සනාථ කළ ආදරණීය කලාකරුවෙකි, ප්‍රින්ස් උදය ප්‍රියන්ත. නමින් ප්‍රින්ස් වූවාට ඔහු කුමාරයෙක් නොවුණේය. නිහඬ කලාකරැවකු වූ ප්‍රින්ස් කලකදී ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි කලාකරුවකු විය. නමුත් පුරා වසර දෙකක් තිස්සේ දරුණු රෝගී තත්ත්වයකට මුහුණපෑ ප්‍රින්ස් ජූනි මස අටවැනි දින තම දෑස් පියාගත්තේය. ඔහුගේ ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වූ අතර මේ වන විට නවලෝක රෝහලට රුපියල් විසිපන් ලක්ෂ තිස්අට දහසක මුදලක් ගෙවීමට නියමිත අතර ඒ වෙනුවෙන් පැවැත්වෙන සංගීත ප්‍රසංගය ගැන කීර්ති පැස්කුවල් මෙසේ අදහස් දැක්වීය.

ආදරණීය ප්‍රින්ස් ප්‍රසංගයේ අරමුණ මොකක්ද?

ප්‍රින්ස්ගේ රෝගී තත්ත්වය හේතුවෙන් අධික මුදලක් වැය වුණා. ඒ සඳහා ඔහු හම්බකරගත් හැම සතයක්ම හැම දේපළක්ම මෙන්ම ඔහුගේ සහෝදරිය සතු සියලුම දේපළ, මුදල් වැය වුණා. ඒ වෙනුවෙන් ඔහුගේ ආදරණීය රසික රසිකාවියන් බොහෝ දෙනකු ද උදව් කළා. නමුත් අපේ මිතුරාව බේරාගැනීමට නොහැකි වුණා. ඔහු රෝහල්ගතව සිටියදී රෝහලේ ප්‍රතිකාර වෙනුවෙන් විසිපන් ලක්ෂ තිස්අට දහසක් ගෙවීමට තිබුණා. ඒ වෙනුවෙන් කරන ප්‍රසංගය තමයි ආදරණීය ප්‍රින්ස්. ඒකෙන් ලැබෙන සියලුම මුදල් මෙම මුදල පියවීම සඳහා යොදවනවා.

මේ සඳහා සහභාගිවන කලාකරැවන් කවුද..?
මේ සඳහා කලාකරුවන් විසිඅට දෙනෙකු සහභාගි වෙනවා. අමරසිරි පීරිස්, එඩ්වඩ් ජයකොඩි, ටී.එම්. ජයරත්න, කරුණාරත්න දිවුල්ගනේ, චරිතා පීරිස්, ප්‍රියා සූරියසේන, නිරෝෂා විරාජනී, සමිතා, රෝහණ බෝගොඩ, මරියසෙල්, ජගත් වික්‍රමසිංහ, නෙලූ, ජානක වික්‍රමසිංහ, කීර්ති පැස්කුවල්, භාතිය, සංතුෂ්, උමාරියා, කසුන්, අමල්, චාමර, චන්දන, සෝමසිරි, චන්ද්‍රසේන, මධුමාධව, රොහාන්, ටිරෝන්, නාමල්, ආත්මා යන කලාකරුවන් කලාකාරියන් සහභාගි වෙනවා.

මෙම ප්‍රසංගය පැවැත්වෙන දිනය සහ ස්ථානය සඳහන් කළොත්?
ආදරණීය ප්‍රින්ස් ප්‍රසංගය ජුලි මස 14 වැනි සිකුරාදා මහරගම ජාතික තරුණ සේවා සභා යොවුන් රඟහලේදී පැවැත්වෙනවා. ඒක සවස 6.30 සිට පැය තුනක කාලයක් පැවැත්වෙන ප්‍රසංගයක්. මෙම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය නුවන් සමරසිංහ වන අතර යූත් එක්ස්ට්‍රීම් සංගීත කණ්ඩායම සංගීතය සපයනවා.

ප්‍රවේශ පත්‍ර ලබාගත හැක්කේ කොහොමද..?
ප්‍රවේශ පත්‍ර රුපියල් 1000, 2000, 3000 මිල ගණන් යටතේ මිලදී ගන්නට පුළුවන්. මෙම මුදලින් ප්‍රේක්ෂකයාට කිසිදු පාඩුවක් සිදුවන්නේ නෑ. මේක ඉතා දුර්ලභ ගණයේ වටිනා සංගීත ප්‍රසංගයක් නිසා බොහෝ ප්‍රේක්ෂක පිරිසකගේ පැමිණීම අපි බලාපොරොත්තු වෙනවා.

මෙම ප්‍රසංගය කාගේ අදහසක් අනුව ක්‍රියාවට නැංවීමක්ද..?
මේ ප්‍රසංගය තනි පුද්ගලයකුගේ යෝජනාවක් නෙමේ. ප්‍රින්ස්ගේ අභාවයත් සමඟ ඔහු වෙනුවෙන් ඔහුගේ සහෝදරිය විශාල ණය මුදලකට හිරවෙලයි ඉන්නේ. ඇය ප්‍රින්ස්ව බේරාගන්නට නොකළ දෙයක් නැති තරම්. ඉතින් මේ නිසා අපි ප්‍රින්ස් වෙනුවෙන් කුමක් හෝ කළ යුතුයි කියන තැනට ආවා. ඒ නිසාම තමයි මේ ප්‍රසංගය මෙලෙස සංවිධානය වු‍ණේ. කලාකරුවන් කලාකාරියන් සියල්ලම නොමිලේ ගීත ගායනා කරන්න එකතු වුණා. ඒ විතරක් නෙමේ, තරුණ සේවා සභාවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයත් සිය උපරිම දායකත්වය අපිට ලබලා දෙනවා. මේ නිසා මෙම ප්‍රසංගය දකින්නට අසන්නට විඳින්නට අපේ ආදරණීය රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙම ප්‍රසංගයෙන් ලැබෙන සියලුම මුදල් ප්‍රින්ස් වෙනුවෙන් ඉතිරිවුණ ණය මුදල පියවීමට යොදවනවා.

ආදරණීය ප්‍රින්ස් ළෙන්ගතු සහෝදරත්වයේ ගෞරවාන්විත සමුදීමට ඔබත් එකතු වෙන්න.