මාසෙකින් මාව අත්අඩංගුවට

මාසයක් ඇතුළත තමා අත්අඩංගුවට ගනු ලබන බව ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට පවසා ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවරදී (07 වැනිදා) පෙරේදා මේ ප්‍රකාශය කළේය.

මහනුවරට සිකුරාදා (07) පෙරවරුවේ පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා දළඳා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදුටුවේය. අනතුරුව මල්වතු අනුනායක හිමිවරුන් දෙපළද බැහැ දැක ආශිර්වාද ලබාගැනීමෙන් පසුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

මාව අත්අඩංගුවට ගන්න එකද සාධාරණය... මේක එහෙම නම් ඒ ඇමැතිවරයාද නඩු අහන්නේ. නඩු තීන්දු දෙන්නේ. පරීක්ෂණ පවත්වන්නේ. එහෙම නම් එතැන ස්වාධීනතාවයක් තිබෙනවාද? එහෙම නම් මෙතන සාධාරණයක් නැහැනේ. රාජපක්ෂලා කියන්නේ මේ රටේ සොරකම් කරපු අය නොවෙයි මේ රට බේරාගත්ත අයයි.

එම අමාත්‍යවරයා කියලා තිබෙනවා ගෝඨාභයට එන්න දෙන්නෙ නැහැ අපි එයාව හිර කරනවා කියලා. අපි එහෙම දේශපාලනය කරන අය නෙවෙයි. නිලධාරින් වශයෙන් මේ රටට සේවයක් කරපු අයයි. ඉතාම කනගාටු වෙනවා මේ අසාධාරණය ගැන මහා නායක හිමිපාණන් වහන්සේලා දැනුම්වත් කළා.

මේවා එක එක අයගේ ඕනෑ එපාකම්වලට වෙන දේවල් හැටියටයි අපි හිතන්නේ, එල්ටීටීඊ ඩයස් පෝරාවට අවශ්‍ය දේවල් තමයි මේ වෙන්නේ. වසර 80ක් රාජපක්ෂවරු මේ රටේ දේශපාලනය කරලා තිබෙනවා. අපි දේශපාලනයෙන් හම්බකරගත්තු මිනිස්සු නෙවෙයි. යම් පරිත්‍යාගයක් කරලා වසර 30ක් තිස්සේ තිබූ ත්‍රස්තවාදය නැතිකරපු අය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.