රටේ ඛනිජ නිධි ඈවරයි

මෙරට වටිනාම ඛනිජ වැලි නිධිය අයත් පුල්මුඩේ ඛනිජ වැලි සමාගම හා රටේ තවත් ප්‍රධාන ඛනිජ නිධි ඉන්දියානු සමාගමකට විකිණීම සඳහා රජය පිඹුරුපත් සකසමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා  පැවසීය.

එහිදී විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සදහන් කළේ පුල්මුඩේ ඛනිජ වැලි නිධිය අදාළ ඉන්දියානු සමාගමට ලබා දීමේදී කිසිදු මුදලක් අය නොකෙරෙන බවත්, නිෂ්පාදන ආදායමෙන් කොටසක් පමණක් ආණ්ඩුවට ලබාදීමට එම සමාගම එකඟතාව පළකර ඇති බවත්ය.

සීමාසහිත ලංකා මිනරල් ඇන්ඩ් සෑන්ඩ්ස් සමාගම සම්පූර්ණයෙන්ම රජයට අයත් ආයතනයක් වන අතර මෙම සමාගම තරගකාරී ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු සමාගමට ලබාදීම සඳහා නව ක්‍රමවේදයන් සකසා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව පිළියෙල කර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

සීමාසහිත ලංකා මිනරල් ඇන්ඩ් සෑන්ඩ් සමාගම 2011 වසරේදී රුපියල් 1107 ක ශුද්ධ ලාභයක්ද, 2012 වසරේදී රුපියල් මිලියන 1373 ක ශුද්ධ ලාභයක් ද උපයා ඇතැයි මුදල් අමාත්‍යාංශයේ 2012 වාර්ෂික වාර්තාවේ සඳහන් වන බවත් මෙම ගිවිසුම අනුව ති‍්‍රකුණාමලය සිට නැගෙනහිර වෙරළේ වටිනා මුහුදු තීරයක අයිතිය ද එම ඉන්දිය සමාගමට අයත් වීමට නියමිත බවත් විමල් වීරවංශ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

අකිලා නදීශානි බණ්ඩාර