සුනාමි අනාවැකියකින් කතරගම පුදබිම හිස් !

ඊයේ (08) සහ අද (09) ශ්‍රී ලංකාවට බරපතල ස්වභාවික ආපදාවකට මුහුණ දෙන්නට සිදුවන බවට එක්තරා ජ්‍යොතිවේදියෙකු යැයි කියාගන්නා පුද්ගලයකු විද්‍යුත් මාධ්‍යක් මගින් කොට ඇති ප්‍රකාශයක් මුල්කොට ඊයේ (08) සහ අද දවස පුරා දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල බලවත් සුනාමි භීතියක් පැතිර යන බව අපගේ ප්‍රදේශීය මාධ්‍යවේදීහු වාර්තා කරති.

එහිදී ඔවුන් විශේෂයෙන් අවධාරණය කළේ 2004 වසරේ ශ්‍රී ලංකා‍වට අත්වූ සුනාමි උවදුරෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශය පුරා මෙම ව්‍යාජ සුනාමි භීතිය තදින්ම බලපවත්වන බවකි. ඒ හේතුවෙන් මෙම ප්‍රදේශ වල පොසොන් දිනය මුල්කොට විහාරස්ථානයන් හි පැවැත්වීමට නියමිතව තිබූ ආගමික පුද පූජා, සංස්කෘතික අංග, දන්සල්, තොරණ ආදී කටයුතු ද බොහොමයක් අවලංගු වී ඇති අතර කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය ඇතුළු බොහෝ මාර්ග වල වාහන ගමනාගමනය සේම ජනගහනයේ ද පැහැදිළි අඩුවක් දක්නට ලැබේ.

මාතර බෝධිය, වෙහෙරහේන, වැවුරුකන්නල, තිස්සමහාරාමය ආදී ආගමික ස්ථාන වල ද සැදැහැවතුන්ගේ සැලකිය යුතු අඩුවක් දක්නට තිබුණු අතර මුහුද අද්දර පිහිටි ප්‍රධාන මාර්ගයේ ඇති ඇතැම් වෙළඳසැල් සහ භෝජනාගාර ද වසා දමා තිබුණි. මෙහිදී වඩාත් කැපිපෙනෙන තත්ත්වයක් වූයේ කලින් පොසොන් පොහොය දිනවල සැදැවතුන්ගෙන් පිරී ඉතිරීයන කතරගම පුද බිම තුළ ඊයේ දිනයේ සාමාන්‍ය දිනයකවත් දක්නට ලැබෙන වන්දනා කරුවන් පිරිසක්වත් දක්නට නොලැබීමය.

මෙම තත්ත්වය අද (09) ද එසේම බලපැවැත්වෙන බව කතරගම විහාරස්ථ දායක සභාවේ උප ලේකම් සුමන‍ සේමපාල මහතා පැවසීය.

මේ පිළිබඳව අප මාධ්‍යවේදීන් විසින් විවිධ පාර්ශවයන්ගෙන් කරන ලද විමසීම් වල දී ඒ සියළු දෙනාගෙන් දැන ගත හැකි වූයේ ඉහත කී ජ්‍යොතිෂවේදියා ලෙස පෙනී සිටින පුද්ගලයා පළ කළ ව්‍යාජ අනාවැකිය මුල්කොට පැතිර ගිය සුනාමි භීතිය නිසා මෙම තත්ත්වය ඇති වූ බවය.

මෙහිදී ඊයේ (08) ලක්බිම ඔන්ලයින් නියෝජිතයෙකු සමඟ මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස නා හිමියන් පළ කරන ලද්දේ මෙවන් අදහසකි.

වෙනත් වසරවල ‍පොසොන් ‍පෝයට බෞද්ධ සිද්ධස්ථාන වෙත යන බැතිමතුන් අද ‍පෝය දිනයේදී අඩු බව දැනගන්නට ලැබෙනවා. කතරගම තත්ත්වයත් එයමයි. නිවාඩු නිකේතන හිස්වෙලා. බත් දන්සල්වල බත් කන්න පිරිස් නැහැ.

‍ජ්‍යොතිෂකරුවන් යැයි කියාගන්නා මේ පුද්ගලයන් රාජ්‍ය නොවන අන්‍යාගමික සංවිධාන මගින් මුදල් ගෙන බෞද්ධයන් පන්සල් යන දිනයන් මුල් කරගෙන මේ සිදු කරන්නේ බුද්ධාගමට එරෙහිව කටයුතු කිරීමක්.

ජනාධිපතිතුමා අගමැතිතුමා, බුද්ධ ශාසන අමාත්‍යතුමා මේ වැනි බොරු ප්‍රචාරයන් සිදුකරන බොරු ‍ ජ්‍යොතිර්වේදීන්ට එරෙහිව නීති මගින් ක්‍රියා කර දඬුවම් ලබාදිය යුතු යැයි මා යෝජනා කරනවා.

මෙම ව්‍යාජ සුනාමි භීතිකාව හටගැනීමට තවත් හේතුවක් ලෙස අප මාධ්‍යවේදීන් වෙත කරුණු අනාවරණය වී ඇත්තේ පසුගිය 2004 සුනාමි උවදුර උඳුවප් පුරපෝ දිනක පැමිණි බැවින් පුරපෝ දිනයන් හි සුනාමි උවදුරු පැමිණීමේ වැඩි අවදානමක් ඇති බවට පොදු ජන මතයක් ඇති බවයි. මේ සම්බන්ධයෙන් අපි ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ (NARA) ජ්‍යෙෂ්ඨ සාගර විද්‍යාඥ ආචාර්ය කේ.අරුලානන්දන් මහතා ගෙන් විමසීමක් කළෙමු.

“පුර පසොලොස්වක දිනයක් හෝ වෙනත් නිශ්චිත දිනයක් මුල් කර ගෙන සුනාමියක් පැමිණිය හැකි බව පැවසීම මුළුමනින්ම අසත්‍යක්.එක් වරක් පසලොස්වක ‍පෝ දිනයක සුනාමි පැමිණි නිසා නැවත පසලොස්වක පෝය දිනයකම සුනාමියක් පැමිණෙන බව පැවසීම ‘පුහු තර්කයක්’ (Fallacy)විතරයි. අනික සුනාමි තත්ත්වයන් පිළිබඳව දින ගණන් සති ගණන් පෙර සිට අනාවැකි කියන්න කාටවත් බැහැ. අප රටේ සුනාමි අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීමක් කළ හැක්කේ පැය තුනක පමණ කෙටි කාලයක් තුළදී පමණයි. දැනට අප රටේ එවැනි සුනාමි අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මකයි.

කෙසේ හෝ මෙම ව්‍යාජ අනාවැකිය පළ කළ ජ්‍යොතිර්වේදියෙකු යැයි කියා ගන්නා පුද්ගලයාම 2013 සැප්තැම්බර් 17 වෙනි දින කතරගම දෙවියන් සියැසින් දැක ගැනීමේ වරමක් හිමිවන බැව් පැවසීම නිසා ලක්ෂ දහයකට අධික පිරිසක් කතරගම රැඳී සිටි බවද මාධ්‍ය මඟින් අනාවරණය කෙරුණි."

මේ සම්බන්ධයෙන් ලක්බිම ඔන්ලයින් වෙත අදහස් දැක් වූ ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය පාතේගම ඥාණිස්සර හිමියෝ මෙසේ කීහ.

“අප රටේ විද්‍යුත් මාධ්‍ය ප්‍රබල වීමත් සමඟම වසර සිය දහස් ගණනක් පැරණි ජ්‍යොතිර්වේදය කුණු කාණු පල්ලට වැටී තිබෙනවා. ජ්‍යොතිෂ පිළිබඳ ශාස්ත්‍රීය දැනීමක් ඇති පුද්ගලයන් පසෙකට ලා ජ්‍යොතිෂ පිළිබඳ කිසිදු දැනීමක් නැති කපටි කයිරාටික පුද්ගලයන් විද්‍යුත් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ‘සුපර්ස්ටාර්ලා’ බවට පත් වී තිබෙනවා.

ඔවුන් සජීවී වැඩසටහන් වල පෙනී සිටින අතරේ රූපවාහිනී නරඹන්නන් ලෙසින් දුරකතන ඇමතුම් දෙන පුද්ගලයන් ඔවුන් විසින්ම මෙහෙයවන ලද 'ඒජන්ත වරු' බවත් ඉහත කී පුද්ගලයාගේ ජ්‍යොතිෂ හැකියාවන් පිළිබඳව ඔවුන් දුරකතන මගින් පවසන කරුණු පට්ට පල් බොරු බවත් මේ වන විට අනාවරණය වී තිබේනවා. ඒ වගේම තමන් මේ වැඩ සටහන් වලට සහභාගී කර ගැනීම වෙනුවෙන් ඔවුන් ඒ මාධ්‍ය වල විවිධ පාර්ශවයන්ට අල්ලස් ප්‍රදානය කරන බවත් දැන් දැන් අනාවරණය වී තිබෙනවා. මෙයින් සිදුවන්නේ අපේ රටේ අසරණ මහජනතාව තවත් අසරණ බවට පත් කිරීමක් විතරයි.

ඒ අනුව ජනතාව තුළ අනවශ්‍ය භීතියක් ඇති කිරීම සම්බන්ධයෙන් මෙම කපටි කයිරාටිකයන් සේම බාල ජනප්‍රියත්වයක් තකා ඔවුන්ගේ බොරු බේගල් මාධ්‍ය මගින් ජනතාව අතරට ගේන මාධ්‍ය කරුවන්ද වගකිව යුතුයි."

අප මේ සම්බන්ධයෙන් ඈපා පංචාංග ලිතේ ප්‍රධාන කර්තෘ සහ ප්‍රකාශක ජ්‍යොතිර්වේදී ඉන්දික ඈපා සෙනවිරත්න මහතාගෙන් ද විමසීමක් කළෙමු.

"ගින්න, ජලය, පස, වායුව යන සතර මහා භූත කොටස් නිසා ඇතිවන ස්වභාවික ආපදා පිළිබඳව යම් යම් ඉඟි ජ්‍යොතිෂ මගින් පළ කළ හැකි වුණත් කාලගුණික, දේශගුණික, භූවිද්‍යාත්මක හෝ සාගර විද්‍යාත්මක වශයෙන් ඒවා වෙන්කොට දැක්වීමේ හැකියාවක් ජ්‍යොතිර්වේදයට නැහැ. ඒ වගේම පැය 24, 48,72, ආදී වශයෙන් නිශ්චිතව ඉලක්ක කොට කීමේ හැකියාවකුත් නැහැ. ස්වභාවික ආපදා සම්බන්ධයෙන් එක් ජ්‍යොතිර්වේදියෙකුට පෙනෙන දේ පමණක් සෘජුවම ජනතාව හමුවට ඉදිරිපත් කිරීම කිසිසේත් නොකළ යුත්තක්. ඒ එම ග්‍රහචාරය තුළ ඇති ඊට වඩා ඉදුරාම වෙනස් තත්ත්වයක් වෙනත් ජ්‍යොතිර්වේදියකුට පෙනී යා හැකි නිසයි. ඒ අනුව එකම ග්‍රහචාරයක් මුල්කොට ජ්‍යොතිර්වේදීන් දසදෙනෙකු විවිධ සිද්ධාන්ත ඇසුරින් කරන විමසුම් මඟින් ප්‍රථිපල දහයක් ලැබෙන්නටත් පුළුවන්. ඒ වගේම වගකිවයුතු ජ්‍යොතිර්වේදීන් තමන් ඉදිරිපත් කරන අනාවැකිය සමඟ ඊට අදාල ග්‍රහපිහිටීමත් අනිවාර්යෙන් විස්තර කරනවා. එවිට ඒ ග්‍රහ පිහිටීම සහ ප්‍රථිපලය සංසන්දනය කොට එය අභියෝගයකට ලක් කිරීමට වෙනත් ජ්‍යොතිර්වේදියෙකුට හැකියාව ලැබෙනවා.

නමුත් මෙහි අවාසනාවන්ත තත්ත්වය වන්නේ අද මාධ්‍ය මගින් අනාවැකි පළ කරන ජ්‍යොතිර්වේදීන් යැයි කියා ගන්නා බොහෝ පුද්ගලයන් ඊට අදාල ග්‍රහ පිහිටීමවත් ඉදිරිපත් නොකොට ‘නිරුවත්’ අනාවැකි පළ කිරීමයි. එය කූට ජාවාරම් කරුවන් අතට පත් වීම තුළින් ජ්‍යොතිර්වේදය බරපතල අවභාවිතාවකට ලක්වීමක් ලෙස හඳුන්වා දීමට සිදුවී තිබෙනවා. ඒ නිසා මෙවන් පදනමක් නොමැති අදහස් ජනතාව අතරට පත් කරන කූට පුද්ගලයන් මාධ්‍ය මගින් ජනතාව හමුවට ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටින ලෙස මාධ්‍ය කරුවන්ගෙන් ද මා ඉතා උනන්දුවෙන් ඉල්ලා සිටිනවා.

දමයන්ති ගමගේ

පසුබිම් වාර්තා - කේ.ඩී.දේවප්‍රිය - එස්.ටී.පී.සිල්වා