ලග්න අනුව ධර්ම ත්‍රිකෝණ පලා පල

මෙලොව උත්පත්තිය ලබන්නා වූ සෑම මනුෂයකුටම උත්පත්ති වේලාවක් පවතී. එම උත්පත්ති වේලාවට අනුව සාදනු ලබන කේන්දර සටහන ත්‍රිකෝණ සතරකට බෙදා දැක්විය හැකි වේ.

ධර්ම ත්‍රිකෝණය, අර්ථ ත්‍රිකෝණය, කාම ත්‍රිකෝණය, මෝක්ෂ ත්‍රිකෝණය වශයෙන් විශේෂ බලයක් මේ ත්‍රිකෝණ 4ට අයත් වනු ඇත. ධර්ම ත්‍රිකෝණය පිළිබඳ විමසා බැලීමක් සිදු කරමු.

කේන්දරයක ලග්න භාවයත් පස්වන භාවයත් නව වන භාවයත් සම්බන්ධ වෙමින් සෑදෙන ත්‍රිකෝණය ධර්ම ත්‍රිකෝණය වන්නේ ය. එසේ ලග්නභාවයට අයත් වන්නා වූ ග්‍රහයාත් පස්වැන්නට අයත් වන්නා වූ ග්‍රහයාත් නවවැන්න අධිපති වන්නා වූ ග්‍රහයාත් එම භාවයන්වලම තැන්පත්ව සිටීමෙන් ඉතා යහපත් ශුභ පල ගෙන දෙන පිහිටීමක් වෙයි. ධර්ම ත්‍රිකෝණයට අයත් වන ග්‍රහයින් තිදෙනා එකට යෝග වී ශුභ දෘෂ්ටි සහිතව තැන්පත් වී සිටීම ද ජන්ම ලාභියාට එම ග්‍රහයින්ගෙන් ශුභ පල අත්වීමට හේතු වේ. විශේෂයෙන් කේන්දරගතව හෝ ත්‍රිකෝණ ගතව තැන්පත්ව සිටීමෙන් එම ග්‍රහයින්ගෙන් ලැබෙන පලය වඩා වැඩි වේ.

ලග්න අනුව ධර්ම ත්‍රිකෝණය

* මේෂ ලග්නයෙන් උත්පත්තිය ලැබූ අයගේ ලග්නාධිපති වූ අඟහරු ග්‍රහයාත් පස්වැන්නට අධිපති වූ රවි ග්‍රහයාත් නවවැන්නට අධිපති වූ බ්‍රහස්පති ග්‍රහයාත් ධර්ම ත්‍රිකෝණයට අයත් වේ. රවි, කුජ, ගුරු යන ග්‍රහයින් ලග්නගතව හෝ ත්‍රිකෝණ ස්ථානයක හෝ තැන්පත්ව සිටීම හෝ කේන්ද්‍රගතව තැන්පත්ව සිටීයදී උපත ලබන මේෂ ලග්න හිමියන්ට ඉතා වාසනාවන්ත වූ ජීවිතයක් ගත කිරීමට හැක. උසස් බුද්ධියක් හිමි, මනා පෞරුෂයකින් යුතු බල සම්පන්න තැනැත්තකු බවට පත්වීමේ වාසනාව ඇත. විශේෂයෙන් රවි, කුජ, ගුරු යන ග්‍රහයන්ගේ මහ දශා අන්තර් දශා කාලවලදී සියලු සුභ ඵල නොඅඩුව හිමි වනු ඇත.

* වෘෂභ ලග්නයෙන් උත්පත්තිය ලැබූ අයගේ ලග්නාධිපති වූ සිකුරුත් පස්වැන්නට අධිපති වූ බුධත් නව වැන්නට අධිපති වූ සෙනසුරුත් ධර්ම ත්‍රිකෝණයට අයත් වේ. වෘෂභ ලග්නයට යෝගකාරක වූ සෙනසුරු සමඟ සිකුරු හා බුධ ත්‍රිකෝණ ගතව යෝගකාර වීමෙන් වෘෂභ ලග්න හිමියාට වාසනාවන්ත ජීවිතයක් ගතකිරීමේ භාග්‍ය වාසනාව ලැබෙනු ඇත.

* මිථුන ලග්නයෙන් උත්පත්තිය ලැබූ අයගේ ලග්නාධිපති වූ බුධ සතර වැන්නටත් අයත් වනු ඇත. එසේම පස්වැන්නට අයත් වූ සිකුරු දොළොස්වැන්නටත් අයත් වනු ඇත. නව වැන්නට අයත් වූ සෙනසුරු මර්මස්ථානයටත් අයත් වීම හේතුවෙන් සෙනසුරුගේ බලය අඩු වීමක් සිදු වුවද බුධ ග්‍රහයාත් සිකුරු ග්‍රහයාත් සෙනසුරු ග්‍රහයාත් එක්වී ධර්ම ත්‍රිකෝණය නිර්මාණය කරන්නා වූ ග්‍රහයින් ත්‍රිකෝණ ගතව හෝ කේන්ද්‍ර ගතව යෝගවී තැන්පත්ව සිටීමෙන් මිථුන ලග්න හිමියාට වාසනාව ගෙන දෙනු ඇත.

* කටක ලග්නයෙන් උත්පත්තිය ලැබූ අයගේ ලග්නාධිපති වූ සඳු ග්‍රහයාත් පස්වැන්නට අධිපති වූ අඟහරුත් ලග්නයට යෝගකාරක වූ බ්‍රහස්පතිත් නවවැන්නාධිපති වෙමින් ඇති කරන්නාවු ධර්ම ත්‍රිකෝණය මඟින් කටක ලග්න හිමියන්ගේ ජීවිතය ඉතා වාසනාවන්ත බවට පත්කරනු ඇත. සඳු ග්‍රහයාගෙන් අඟහරු ග්‍රහයාගෙන් බ්‍රහස්පති ග්‍රහයාත් එක්වී නිර්මාණය වූ ධර්ම ත්‍රිකෝණයේ දී සඳු,අඟහරු,ගුරු ත්‍රිකෝණ ගතව හෝ කේන්ද්‍රගතව සිටිමින් හෝ එකට යෝගව සිටීමෙන් එම ග්‍රහයන්ගේ මහ දශා අන්තර් දශා කාලයන්හිදී කටක ලග්න හිමියා ධනයෙන් සැපයෙන් බලයෙන් යුක්ත තැනැත්තකු කරයි.

* සිංහ ලග්නයෙන් උත්පත්තිය ලැබූ අයගේ ලග්නාධිපති වූ රවි ග්‍රහයාත් පස්වැන්නට අධිපතිවන්නා වූ බ්‍රහස්පති ග්‍රහයාත් නවවැන්නට අධිපති වන්නා වූ අඟහරුත් ධර්ම ත්‍රිකෝණයට අයත් වේ. රවි, ගුරු, කුජ ග්‍රහයන් කේන්ද්‍රගතව හෝ ත්‍රිකෝණ ගතව තැන්පත් වෙමින් සිංහ ලග්න හිමියන්ට එම ග්‍රහයන්ගේ මහ දශා හා අතුරු දශා කාලයන්හිදි වාසනා බලය ගෙන දෙනු ඇත.

* කන්‍යා ලග්නයෙන් උත්පත්තිය ලැබූ අයගේ ලග්නාධිපති වූ බුධ ග්‍රහයාත් පස්වැන්න අධිපති වූ සෙනසුරු ග්‍රහයාත් නවවැන්න අධිපති වූ සිකුරු ග්‍රහයාත් ධර්ම ත්‍රිකෝණයට අයත් වනු ඇත. සිකුරු ග්‍රහයා භාග්‍යස්ථානයට අයිති වීමත් බුධ ග්‍රහයා ලග්නයට උච්ච වූ ග්‍රහයා වීමත් මත යෝග පල වැඩියෙන් උදාකරනු ඇත. බුධ, සිකුරු, ශනි ග්‍රහයින් ත්‍රිකෝණ ගතව හෝ කේන්ද්‍රගතව යෝග වෙමින් හෝ වෙන වෙනම හෝ තැන්පත් වේද එම ග්‍රහයන්ගේ මහ දශා අන්තර් දශා කාලවලදී වාසනාව ලබයි.

* තුලා ලග්නයෙන් උත්පත්තිය ලබන්නාවූ අයගේ ලග්නාධිපති වූ සිකුරු ග්‍රහයාත් පස්වැන්න අධිපති වූ සෙනසුරු ග්‍රහයාත් නව වැන්න අධිපති වූ බුධ ග්‍රහයාත් ධර්ම ත්‍රිකෝණයට අයත් වේ. ලග්නයට උච්ච වූ සෙනසුරු ත්‍රිකෝණ ස්ථානයකට හිමි වීම තුලා ලග්න හිමියන්ට යහපත් වනු ඇත. ඒ අනුව සිකුරු සෙනසුරු බුධ ග්‍රහයින් ත්‍රිකෝණගතව හෝ කේන්ද්‍රගතව තැන්පත්ව සිටිත්දි එම ග්‍රහයන්ගේ මහ දශා අන්තර් දශා කාලයන්හි දී තුලා ලග්න හිමියන් බලයෙන් ධනයෙන් සමෘද්ධියට පත්වනු ඇත.

* වෘශ්චික ලග්නයෙන් උපත ලබා ලග්නාධිපති වූ අඟහරු ග්‍රහයාත් පස්වැන්න අධිපති වූ ගුරු ග්‍රහයාත් නවවැන්න අධිපති වූ සඳු ග්‍රහයත් ධර්ම ත්‍රිකෝණයට අයත් වේ. බ්‍රහස්පති ධනස්ථානයට අයත් වූවත් පස්වැන්න වූ ත්‍රිකෝණස්ථානයේ දී බ්‍රහස්පතිගේ බලය වැඩි වන බැවින්ද නවවැන්නටත් ලග්නයටත් ත්‍රිකෝණ දෘෂ්ටිය එල්ල කරන බැවින්ද වෘශ්චික ලග්න හිමියන්ගේ බ්‍රහස්පති පස්වැන්නෙම තැන්පත් විම ඉතා යහපත් වනු ඇත. කුජ , ගුරු, සඳු යන ග්‍රහයින්ගේ මහදශා අන්තර් දශා කාලයන්හි දී සැප සම්පත් යස ඉසුරු ලැබෙනු ඇත.

* ධනු ලග්නයෙන් උත්පත්තිය ලබා ලග්නාධිපති වූ බ්‍රහස්පතිත් සත්වැන්නට අධිපති වූ අඟහරුත් නවවැන්න අධිපති වූ රවි ග්‍රහයාත් ධර්ම ත්‍රිකෝණයට අයත් වේ. බ්‍රහස්පති ලග්නයේ හෝ ත්‍රිකෝණ ස්ථානයක තැන්පත්ව සිටීම තුළින් ධනු ලග්න හිමියාට ඉතා ශුභ පල අත්කරනු ඇත. රවි, කුජ, ගුරු කේන්ද්‍රගත හෝ ත්‍රිකෝණගතව එක්ව හෝ තනි තනිව තැනපත් ව සිටී ද එම ග්‍රහයන්ගේ මහ දශා අන්තර් දශා කාලවලදී ගරු බුහුමන් සැප සම්පත් ලබනු ඇත.

* මකර ලග්නයෙන් උත්පත්තිය ලද අයගේ ලග්නාධිපති වූ සෙනසුරුත් පස්වැන්න අධිපති වූ සිකුරුත් නවවැන්නට අධිපති වූ බුධ ග්‍රහයාත් ධර්ම ත්‍රිකෝණයට අයත් වේ. මකර ලග්නයෙන් උත්පත්තිය ලබා සෙනසුරු ලග්න ගතව හෝ දසවැන්නෙ තැන්පත් වීම තුළින් වීම ජන්මියා ඉතා උසස් මට්ටමකට හෝ සෙන්පතියකු බවට පත්කරයි. ශනි, සිකුරු, බුධ යන ග්‍රහයින් ත්‍රිකෝණ ගතවත් ලග්නගතවත් කේන්ද්‍රගතවත් තැන්පත්ව සිටියදී උත්පත්තිය ලබන මකර ලග්න හිමියන්ගේ එම මහ දශා කාලවලදී ධන බලය, පෞරුෂ බල‍ය,තේජස් බලය සැප පහසු‍වත් ලබනු ඇත.

* කුම්භ ලග්නයෙන් උත්පත්තිය ලබා ලග්නාධිපති වූ සෙනසුරුත් පස්වැන්න අධිපති වූ බුධත් නව වැන්නට අධිපති සිකුරුත් ධර්ම ත්‍රිකෝණයට අයත් වේ. කුම්භ ලග්න හිමියන්ට සෙනසුරු මෙන්ම සිකුරුගේ මහ දශා අන්තර් දශා කාලවලදී ඉතා යහපත් ඵල උදා කරනු ලබන්නේ එම ග්‍රහයන් කේන්ද්‍රගතව හෝ ත්‍රිකෝණ ගතව සිටීමෙක් පමණි.

* මීන ලග්නයෙන් උත්පත්තිය ලබා ලග්නාධිපති වූ බ්‍රහස්පති ග්‍රහයාත් පස්වැන්නට අධිපති වූ සඳු ග්‍රහයාත් නව වැන්නට අධිපති අඟහරු ග්‍රහයාත් ධර්ම ත්‍රිකෝණයට අයත් වේ. මීන ලග්න හිමියන්ට බ්‍රහස්පති ග්‍රහයා ඉතා සුභ ඵල අත්කර දෙනු ලබන ග්‍රහයා වනු ඇත. ගුරු, සඳු, කුජ යන ග්‍රහයින් කේන්ද්‍රගත වෙමින් හෝ ත්‍රිකෝණ ගත වෙමින් උත්පත්තිය ලබන්නා වූ මීන ලග්න හිමියන්ට එම මහ දශා අතුරු දශා කාලවල දී තම බුද්ධි බලයත් ධන බලයත් සැප සම්පත් ද උපරිමයට ලබනු ඇත.

ධර්ම ත්‍රිකෝණයට අයත් වන්නා වූ අදාළ ග්‍රහයන් කේන්ද්‍රගත වෙමින් හෝ ත්‍රිකෝණ ගත වෙමින් තැන්පත්ව සිටිය දී යම්කිසි ආකාරයකින් පාප ග්‍රහ දෘෂ්ටියකට ලක්ව තැන්පත්ව සිටීමෙන් හෝ පාප ග්‍රහයන් සමඟ යෝග වී සිටීමෙන් ධර්ම ත්‍රිකෝණයට අයත් ග්‍රහයාගේ ශුභඵල එම මහ දශා හෝ අන්තර් දශා කාලවලදී ජන්මලාභියාට හිමි නොවනු ඇත.

ජ්‍යෝතිෂවේදී රේණුක