එජාප මහලේකම් අකිල

එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් ධුරය වත්මන් අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතාට හිමිවීමට නියමිත අතර දැනට ලේකම් ධුරය දරන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා වෙත එජාප නියෝජ්‍ය නායක ධුරයක්‌ හිමිවනු ඇත.

මීට අමතරව එජාපයේ ප්‍රධාන තනතුරු වෙනස්‌ කිරීමේදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා, විදේශ ඇමැති මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර යන මහත්වරුන්ට උපනායක තනතුරු හිමි වීමට නියමිත බව එජාප ජ්‍යෙෂ්ඨයකු පැවසීය.

ඒ අනුව එජාපයට උපනායක තනතුරු තුනක්‌ මෙන්ම නියෝජ්‍ය නායක තුනක්‌ ද පත් කෙරෙනු ඇත. එජාප නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට අමතරව මුදල් ඇමැති රවී කරුණානායක මහතාට ද නියෝජ්‍ය නායක තනතුරක්‌ ද හිමි වේ. එජාප සුළු ජාතික පදනම සලකා එජාප අනෙක්‌ නියෝජ්‍ය නායක තනතුර හිමිවනුයේ වත්මන් මහලේකම් ඇමැති කබීර් හෂීම් මහතා වෙතය. අප්‍රේල් 05 වැනි දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතදී පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී මේ සඳහා අනුමැතිය ගැනෙන බවද ඉහත ජ්‍යෙෂ්ඨයා සඳහන් කළේය.