අනවශ්‍ය ගැබ් ගැනීමක්‌ වළක්‌වා ගන්නා හැටි


සෑම ශ්‍රී ලාංකිකයන් සිය දෙනකු අතරින් 16 දෙනකු තරුණ තරුණියන් (100(16) බව අනාවරණය වී ඇත. ඒ අනුව අපේ රටේ ජනගහනයෙන් ලක්‍ෂ හතළිහකට ආසන්න පිරිසක්‌ වයස අවුරුදු 18 ත් 35 ත් අතර වියේ පසුවන්නෝය.

මෙම තරුණ තරුණියන්ගෙන් 61% ක්‌ ජංගම දුරකථන භාවිත කරන බව 2006 වසරේදි කරන ලද සමීක්‍ෂණ වාර්තා අනුව හෙළිවී ඇත.

එනම් ලක්‍ෂ 20 කට වැඩි ජංගම දුරකථන සංඛ්‍යාවක්‌ තරුණ තරුණියන් අතර ගැවසේ.

මෙම ජංගම දුරකථන භාවිතය තුළින් ඔවුහු අන්තර් ජාල හා සමාජ වෙබ් අඩවි වෙත ගමන් කරති.

නමුත් ඔවුන්ගෙන් හරි අඩකට වැඩි පිරිසකට (62%) පමණ උපත් පාලන ක්‍රම නිවැරදි ලිංගික සංසර්ගය සහ තම ලිංගික අවයවයන්හි ක්‍රියාකාරිත්වය පිළිබඳව ඇති දැනුම ඉතා අල්පය.

ඊට ප්‍රධානම හේතු වී ඇත්තේ ඔවුනට පාසල් අධ්‍යාපනයේදී මේ පිළිබඳ නිසි දැනුමක්‌ නොලැබීමයි.

එක්‌සත් ජාතීන්ගේ ළමා අරමුදලේ වාර්තා අනුව පාසල් යන නව යොවුන් වියෑති දරුවන් (වයස අවුරුදු 15-19) අතර උපත් පාලන ක්‍රම පිළිබඳව ඇත්තේ දුර්වල අවබෝධයකි. උපත් පාලන කොපු (කොන්ඩොම්) පිළිබඳව යම් දැනුවත් බවක්‌ ඇත්තේ ඔවුන්ගෙන් 28.9% පිරිසකට පමණි.

උපත් පාලන පෙති පිළිබඳ දැනුමක්‌ ඇති පිරිස සිටියේ 24.2% ක්‌ පමණි. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ තරුණ තරුණියන් ඉතා පහසුවෙන් අනාරක්‍ෂිත ලිංගික එක්‌වීම්වලට යොමුවීමය. එහි ප්‍රතිඵල ලෙස සෑම වසරකදීම බාල වයස්‌ (අවුරුදු 18 ට අඩු) ගැහැනු දරුවන් 15,000 ක්‌ පමණ ගැබ් ගැනීම්වලට ලක්‌වේ.

ගැහැනු දරුවකු වයස අවුරුදු 14 පමණ වන විට වැඩිවියට පත්වීම සිදුවීම අවසන් කරයි. පිරිමි දරුවකුද වයස අවුරුදු 16 පමණ වන විට වැඩිවියට පත්වේ.

වැඩිවියට පත්වීම යනු කුමක්‌ද?

ඉතා සරලව පවසතොත් ගැහැනු දරුවකු වැඩිවියට පත්වීම යනු ඇයගේ ඩිම්බකෝෂයෙන් පළමුවරට ඩිම්බයක්‌ පිටවීමය. එනම් පළමු ඔසප්වීම සිදුවීමය.

ගැහැනු දරුවකුගේ පළමු ඔසප්වීම සිදුවූදා සිට ඇය ගැබ් ගැනීමකට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරාලයි.

පිරිමි දරුවකු වැඩිවියට පත්වීම යනු ඔහුගේ වෘෂණ කෝෂ තුළින් ශුක්‍රාණු නිපදවා ශිෂ්ණය ඔස්‌සේ බාහිරට පිට කිරීම ආරම්භ වීමය.

එතැන් පටන් ඔහුද දරු කළලයක්‌ සෑදීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාලයි.

ගැබ් ගැනීමක්‌ සිදුවන්නේ කෙසේද?

කාන්තාවකගේ ඔසප් වීමකින් පසු යළි දින 10 ත් 17 ත් අතර කාලයකදී ඩිම්බ කෝෂයෙන් පැලෝපීය නාළය තුළට ඩිම්බයක්‌ මුදාහරී. මෙම ඩිම්බය දින 2 ක්‌ පමණ සජීවීව පැලෝපීය නාළය තුළ ගමන් කරයි. මෙම කාලය තුළ ශුක්‍රාණුවක්‌ ඩිම්භය සමග එක්‌ වුවහොත් කළලයක්‌ සාදයි.

ශුක්‍රාණුවක්‌ද කාන්තාවගේ යෝනි මාර්ගයට ඇතුළු වූ විට එය දින 3 ක්‌ පමණ සක්‍රීයව පවතී.

එබැවින් කාන්තාවකගේ ඩිම්බයක්‌ පැලෝපීය නාළය වෙත මුදාහළ කාලය හෙවත් ආර්ථව චක්‍රයේ සරු කාලය තුළදී ශුක්‍රාණුවක්‌ යෝනි මාර්ගය තුළින් පැලෝපීය නාල ඔස්‌සේ ගමන් කර ඩිම්බයක්‌ හා එක්‌ වුවහොත් ගැබ් ගැනීමක්‌ සිදුවේ.

ශුක්‍රාණුවක්‌ කාන්තාවගේ යෝනි මාර්ගයට මුදාහළ දින සිට දින 03 ක්‌ සක්‍රීයව පවතින නිසා ලිංගිකව එක්‌වූ දිනම නොව තව දින දෙකකින් වුව ඩිම්බයක්‌ සමඟ එක්‌විය හැකිය.

අනවශ්‍ය ගැබ් ගැනීමක්‌ වළක්‌වා ගන්නේ කෙසේද?

අනවශ්‍ය ගැබ් ගැනීමක්‌ යනු කාන්තාව සහ පිරිමියා ලිංගිකව එක්‌වූයේ ගැබ් ගැනීමක්‌ සඳහා නොවන අවස්‌ථාවක ගැබ් ගැනීමක්‌ සිදු වීමය.

මෙවැනි අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්‌වා ගැනීමට ඇති පහසු ක්‍රමය වනුයේ සරල උපත් පාලන ක්‍රමයක්‌ භාවිත කිරීමය.

එනම් පිරිමියා කොන්ඩොමයක්‌ (ඤබාදපැ) හෙවත් උපත් පාලන කොපුවක්‌ පැළඳීමය.

කාන්තාවට ඇති උපත් පාලන ක්‍රම වන මිතුරි පෙති ගැනීම, ලූපය පැළඳීම, එන්නත් සිදුකිරීම ආදිය වඩාත් සුදුසු වන්නේ විවාහ වී දරු ප්‍රසූතියකින් පසුය.

උපත් පාලන කොපු පැළඳීම

උපත් පාලන කොපුවක්‌ සහිත පැකට්‌ටුවක්‌ කිසි විටෙකත් කටින් හෝ කැපෙන ආයුධයක්‌ භාවිත කර විවෘත නොකළ යුතුය. එම ආවරණය ප්‍රවේශමෙන් අදාළ ස්‌ථානයෙන් විවෘත කර ඉවතට ගත යුතුය.

කොන්ඩමය පළඳින්නට පෙර දිග ඇරීම නොකළ යුතුය.

කොන්ඩමය පැළඳිය යුත්තේ ලිංගික එක්‌වීමට පෙර ශිෂ්ණය ප්‍රාණවත් වූ විටදීය.

ශුක්‍ර තරලය පිටවූ පසු කොණ්‌ඩමය ගැටියෙන් අල්ලා ගෙන ශිෂ්ණය යෝනියෙන් ප්‍රවේශමෙන් ඉවතට ගැනීම කළ යුතුය.

කොණ්‌ඩමය ශිෂ්ණයෙන් ඉවත් කිරීමේදී කඩදාසි කැබැල්ලක්‌ තබා අල්ලා ඉවත් කර එම කඩදාසි කැබැල්ලේම ඔතා ඉවත ලෑම කළ යුතුය.

උපත් පාලන කොපුවක සුරක්‍ෂිත බව

කොණ්‌ඩොමයක්‌ නිෂ්පාදිත දින සිට වසර 03 ක්‌ දක්‌වා භාවිතය සඳහා සුරක්‍ෂිතය.

උණුසුම, තෙතමනය ඇති ස්‌ථානවල කොණ්‌ඩමය දිගු කලක්‌ තැබීම නොකළ යුතුය. එවැනි කොණ්‌ඩොම පාවිච්චි කිරීමෙන් වළකින්න.

උපත් පාලන කොපුවක්‌ භාවිතයේ ඇති වාසි

ලිංගික එක්‌වීමකදී කොණ්‌ඩමයක්‌ භාවිතයෙන් ලැබෙන ප්‍රධාන ප්‍රයෝජනය අනවශ්‍ය ගැබ් ගැනීමක්‌ වළක්‌වා ගැනීමය.

දෙවැන්න ලිංගාශ්‍රිතව බෝවන රෝග වන එච්.අයි.වී. ආසාදන ලිංගික හර්පීස්‌, සුද බිංදුව (ගොනෝරියාව) උපදංශ (සිµsලිස්‌) ආදී රෝග බෝවීම වැළකීමය.

එබැවින් ගැබ් ගැනීමක්‌ අපේක්‍ෂා නොකරන සෑම ලිංගික එක්‌වීමකදීම කොණ්‌ඩමයක්‌ පැළඳීම යනු ආරක්‍ෂිත ලිංගික එක්‌වීමක නිරතවීමය.

තොරතුරු ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන වැඩසටහන සහ එක්‌සත් ජාතීන්ගේ ජනගහන අරමුදල.