බැසිල්ට තිරුකුමාර්ට අධිචෝදනා

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ හා තිරුකුමාර් නඩේසන් යන දෙදෙනා තමන්ට අයිති නැති බව පවසන මල්වානේ මාපිටිගම ප්‍රදේශයේ අක්‌කර දහසයක ඉඩම සහිත සුඛෝපභෝගී දෙමහල් නවීන පන්නයේ නිවෙස සම්බන්ධව එම දෙදෙනාට එරෙහිව ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබෙන හෙයින් නොතිසි නිකුත් කරන දිනයට මහාධිකරණයේ පෙනී සිටින ලෙස එම වගඋත්තරකරුවන්ට පූගොඩ මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඊයේ (25 වැනිදා) නියෝග කළාය.

තවද මෙම නඩුව දැන් මහාධිකරණයට යොමු කර තිබෙන නිසා මෙම අධිකරණයේ විභාග වූ මේ නඩුව අවසන් කරන බව ද මෙම නඩුව ඊයේ (25 වැනිදා) පූගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නැවත කැඳවූ අවස්‌ථාවේ මහෙස්‌ත්‍රාත්වරිය සඳහන් කළාය.

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ හා හිටපු නියෝජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්‍ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් යන දෙදෙනා මෙම නඩුවේ වගඋත්තරකරුවෝ වෙති.

පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ සැරයන් ගුණසේකර හා ප්‍රියන්ත යන නිලධාරීන් පැමිණිල්ල මෙහෙයවනු ලැබූ අතර පළමුවන වගඋත්තරකාර බැසිල් රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජී. ඒ. පී. වීරරත්න මහතා ඇතුළු නීතිඥයන් කණ්‌ඩායමක්‌ ද දෙවන වගඋත්තරකාර තිරුකුමාර් නඩේසන් මහතා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ දිමුතු සෙනරත් බණ්‌ඩාර මහතා ඇතුළු නීතිඥයන් කණ්‌ඩායමක්‌ ද පෙනී සිටියහ.