මැති-ඇමැති රහස් අන්තර්ජාලයට

මෙතෙක් රහස්‍ය තොරතුරු වශයෙන් පැවැති පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ පැමිණීම සම්බන්ධ සියලු විස්තර, ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට හෙළි කිරීමට යයි.

පාර්ලිමේන්තු සභා රැස්වීම් ආංශික අධීක්‍ෂණ කමිටු රැස්වීම්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව ඇතුළු සියලුම කමිටු රැස්වීම්වලට සහභාගි වන හා නොපැමිණි මන්ත්‍රිවරුන්ගේ නම්ද මේ යටතේ වෙබ් අඩවියට මුදාහැරෙනු ඇත.

ලබන මැයි මාසයේ පටන් මේ තොරතුරු පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කෙරෙන බව කතානායකවරයා සියලුම මන්ත්‍රිවරුන් වෙත ලිඛිතව දැනුම්දී ඇත.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තුවෙන් කරනු ලැබ ඇති ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පැමිණීම සම්බන්ධ තොරතුරු මෙසේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කිරීමට ඉකුත් 21 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කොට තිබේ.
කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ සාකච්ඡාවට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක, ඇමැති මහින්ද සමරසිංහ හා පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන සහභාගිවී ඇත.
පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම්වල සිදු කෙරෙන සාකච්ඡාවලදී ලබාගනු ලබන අදාළ සටහන් හෝ උද්ධෘතවල සහතික පිටපත් ලබාදෙන ලෙස පුරවැසි අයිතිය යටතේ ඉල්ලීම් ඉදිරිපත් වී ඇතැයිද තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම උද්ධෘත පිටපත් පිටු පන්සියයකට අධික සංඛ්‍යාවක් ලබාදීමට පියවර ගෙන ඇති බවද පාර්ලිමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ 2015 සැප්තැම්බර් 01දා සිට 2016 දෙසැම්බර් 31 වැනිදා තෙක් පාර්ලිමේන්තුවේ රැස්වීම්වලට සහභාගි වූ දින පිළිබඳ තොරතුරුද මේ අන්දමට ඉල්ලා ඇති අතර එම තොරතුරුද ලබාදීමට පියවර ගෙන ඇතැයිද වාර්තාවේ.
මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තු රැස්වීම්වලට හා කාරක සභා ඇතුළු වෙනත් රැස්වීම්වලට සහභාගි වන අවස්ථා පිළිබඳව තොරතුරු ජනතාවට දැනගැනීමට සැලැස්වීමේ ඇති වැදගත්කම පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කමිටු රැස්වීමේදී දීර්ඝ වශයෙන් අවධාරණය කර ඇතැයිද දැන ගන්නට ඇත.