ශ්‍රීලනිප ආණ්ඩුවක් නුදුරේදීම පිහිටුවනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ තරුණියන්ගේ නායකත්වයෙන් නුදුරේදීම ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (02) පැවැසීය. එසේම මහජන මුදල්වලින් තමන්ගේ සාක්කු පුරවා ගැනීමට වත්මන් ආණ්ඩුවේ කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් තරාතිරම නොබලා තමන් ඒ අයට දඬුවම් ලබාදෙන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්න සහ ඔවුන්ගේ අනාගතය සාර්ථක කරලීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ යෝජනා කළ මාර්ග උපදේශන ආයතනය මේ වසරේ පිහිටුවන බවද ජනාධිපතිවරයා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ විසින් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (2) පස්වරුවේ පැවැත්වූ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ නව වබේ අඩවියද ජනාධිපතිවරයා මෙහිදී විවෘත කළේය.
ඉතිහාසයේ පළමුවතාවට උතුර, දකුණ, නැගෙනහිර, බටහිර ඇතුළු දිවයිනේ සතර දිග්භාගයේම තරුණ තරුණියන් සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සුවිශේෂිතම සමුළුව මෙය යැයි පැවැසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත ජයග්‍රහණයට මෙම තරුණ ජවය සහතිකයක් බවද පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම තමා භාරගත්තේ තම පවු‍ලේ උදවියට ඔටුනු පළඳවන්න නොවන බව මෙහිදී පැවැසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා පක්ෂය භාරගත්තේ පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් පක්ෂය ජයග්‍රහණය කරවීමට බවද පැවැසීය.
‍පොඩි පවුලක ඉපැදී රටේ ජනාධිපතිකම දක්වා පැමිණි නිසා ඇතැමුන් තමාට පහරගහන බවද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා අනාගතයේදීද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට ගම් මට්ටමේ, ප්‍රාදේශීය මට්ටමේ සිටින තරුණ තරුණින් පත්විය යුතු බවද පැවැසීය.

පානුක රාජපක්ෂ