ජේතවන දාගැබේ කුණු පුරවන්නැයි සමනලී කියයි

ඵෙතිහාසික ජේතවන දාගැබ් වහන්සේට කළ අවමානයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු යයි ජාතික හෙල උරුමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකාගේ ෆේස්බුක් ගිණුමද උපුටා දක්වමින් එම පක්‍සය විසින් පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

පොලිස්පතිතුමා,
ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය,
කොළඹ 01.

පොලිස්පතිතුමනි,

ඵෙතිහාසික ජේතවන දාගැබ් වහන්සේට කළ අවමානයට
එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම.

අන්තර්ජාලයෙහි සමාජ වෙබ් අඩවියේ ගිණුමක බෞද්ධයන්ගේ ඓතිහාසික පූජනීය වස්තුවක් වන මහසෙන් රජතුමා (ක්‍රි.ව.276–303) විසින් නිර්මාණය කරන ලද අනුරාධපුර ජේතවන දාගැබ් වහන්සේ විකෘති කර ඒ තුළට කුණු පුරවා ඇති ඡායාරූපයක් පළකර ඇත. මෙය බෞද්ධයන්ගේ සිත් වේදනාවට පත් කරන බුදු සසුනට නිගා දෙන ඡායාරූපයක් බව අවිවාදිතය. එසේම මෙය සමස්ත ලෝක බෞද්ධ ජනතාවට කරන ලද අපහාසයක් ලෙස අපි සළකමු.

මෙම ඡායාරූපය අන්තර්ජාලයේ (මුහුණු පොතේ) දැක්වෙන පරිදි මුවිදු බිනෝයි නම් අයෙකුගේ ය. එසේම ප්‍රකට නිළියක වන සමනලී ෆොන්සේකා ද මෙම ඡායාරූපය ප්‍රචාරණයට අනුග්‍රහය දක්වා ඇත. (Share කර ඇත.) වසර දහස් ගණනක් මුලුල්ලේ බෞද්ධයන්ගේ වන්දනාවට හා නොමද ගෞරවයට ලක්ව ඇති බෞද්ධ පූජනීය වස්තුවක් වන ජේතවන දාගැබ් වහන්සේට කරන ලද මෙම අපහාසයට එරෙහිව ඊට වගකිව යුතු චූදිතයන් සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

සිත් රිදීමට ලක් වූ බෞද්ධයන් නීතියට පිටතින් ගොස් අදාළ චූදිතයන් සොයා ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීම වැළැක්විය හැක්කේ පොලීසීය මේ සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමෙන් පමණක් බවද අවධාරණය කිරීමට කැමැත්තෙමි.

01-මෙම තොරතුරට අදාළ මුහුණු පොතෙහි සම්බන්ධතාවය (Link)
02-සමනලී ෆොන්සේකාගේ ෆෙස්බුක් ගිණුම සම්බන්ධතාවය (Link)

තෙරුවන් සරණයි!
මෙයට

දර්ශනපති හැඩිගල්ලේ විමලසාර හිමි
සම සභාපති

පිටපත් – අතිගරු ජනාධිපතිතුමා/ගරු අග්‍රාමාත්‍යතුමා/බුද්ධශාසන අමාත්‍යතුමා