දෙදරු මව නංගිගේ සැමියා එක්ක ලැගුම්හලේ!

සිවු මස් බිළිඳකුද රැගෙන විත් අනියම් සැමියකු සමග නිකවැරටියේ ලැගුම් හලක පෙම්සුව විඳිමින් සිටි දෙදරු මවක අනියම් පුරුෂයාද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැගුම් හල තුළ අතදරුවෙකු අධික ලෙස හඬන බවට ලැබුණු තොරතුරක් අනුව ලැගුම් හල පරීක්‍ෂා කර අනියම් පෙම් යුවළ අත්අඩංගුවට ගත් බවයි නිකවැරටිය පොලිසිය පවසා ඇත්තේ.

තිස්හය හැවිරිදි මෙම කාන්තාව තම නැගනියගේ ස්වාමි පුරුෂයා සමග ඇතිකරගත් අනියම් සබඳතාවක් මත මෙසේ පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

මෙම කාන්තාව තම නැගනියගේ නිවෙසට යන බව ඇගේ ස්වාමි පුරුෂයාට පවසා ඇති අතර අතදරුවාද රැගෙන නිවසින් පිට වී පැමිණ එම නැගනියගේම සැමියා සමග නිකවැරටිය ලැගුම්හලක සිටි බව පොලිසියේදී අනාවරණය වී තිබෙනවා.

අනියම් පුරුෂයා නිකවැරටිය නගරයෙන් මිලදී ගත් රුපියල් විසි දහසක් පමණ වටිනා ඇඳුම් පැළඳුම් සිංහල අවුරුද්ද වෙනුවෙන් එම කාන්තාවට තෑගි කර ඇති බව පොලිසියේදී හෙළි වී ඇත.

බිලිඳා, මවගෙන් වෙන්කර තැබීම නිසා මෙසේ හඬන්නට ඇතැයි සැකකළ පොලිසි මෙම අනියම් පෙම් යුවළට දැඩි සේ අවවාද කර අහිංසක දරුවන් පීඩාවට පත්කරමින් තම අවශ්‍යතා ඉටු කරගන්නා පහත් ක්‍රියාවන් සිදු නොකරන ලෙසත් තම තමන්ගේ පවුල් ජීවිත සහ ඥාති සම්බන්ධතා ආරක්‍ෂාකර ගනිමින් සමාජයේ යහපත් ලෙස ජීවත් වන ලෙසත් පොලිසියෙන් දැඩි ලෙස අවවාද කර තිබෙන බවයි වාර්තාවන්නේ.

අනතුරුව තම තමන්ගේ නිවෙස් වලට යන බවට පොරොන්දු වූ 48 වියැති අනියම් පුරුෂයා සහ 36 හැවිරිදි දෙදරු මව පොලිසියෙන් පිටව ගොස් ඇත.
මෙම පුවත දිනපතා පුවත්පතක පළවී තිබුණා.