රවී ගෙන් අලුතින් ‘ආර්ථික සේවා‘ බද්දක්

පෙට්රල්, ඩීසල්, භූමිතෙල් ආනයනය කරන ලද මෝටර් වාහන සහ රත්රන් සඳහා නව සේවා ගාස්තුවක් ඇති කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.
මේ සඳහා ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත සංශෝධනය කෙරේ.

නව ආර්ථික සේවා ගාස්තු අය කෙරෙන සංශෝධන 2017 මාර්තු 24 දාතමින් මුදල් ඇමැතිවරයා විසින් ගැසට් පත්‍රයේ අතිරේකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ විධිවිධාන යටතේ විශේෂ භාණ්ඩ බද්දට යටත් වන සෑම ආනයන භාණ්ඩ තොග සඳහා ඒවා ආනයනය කරන සෑම තැනැත්තකුගෙන්ම හෝ හවුල් ව්‍යාපාරයකින්ම මේ ආර්ථික සේවා ගාස්තුව අය කෙරෙන බව ගැසට් පත්‍රයේ පළ කර ඇති අතිරේකයෙහි දැක්වෙයි. නව සංශෝධනවලට අනුව 2016 නොවැම්බර් 24 වැනි දින හෝ ඉන් පසුව ආනයනය කරන ලද රත්රන් හෝ වෙනත් ලෝහ සඳහා නව ගාස්තු අයකරනු ලබයි.
2017 අප්‍රේල් මස 1වැනි දින හෝ ඉන් පසුව ආනයනය කරන ලද මෝටර් වාහන මෙම ගාස්තුවට යටත් කෙරේ.

ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනතේ ප්‍රධාන ප්‍රඥප්තියට ඪම වැනි උපලේඛනයක් එක් කර ඇති අතර 2016 අප්‍රේල් 1 වන දිනයෙන් ආරම්භ වන කාලසීමාව සඳහා පෙට්රල්, ඩීසල් හෝ භූමිතෙල් සිල්ලර වෙළෙදාමේ නියැළී සිටින තැනැත්තකු හෝ හවුල් ව්‍යපාරයක අදාළ පිරිවැටුම හැර වෙනත් අදාළ පිරිවැටුමක් යටතේ සියයට 0.5ක සේවා ගාස්තුවේ අනුප්‍රමාණයක් නියම කර ඇත.

මේ සංශෝධනයෙන් නීතියේ බලපෑම වනුයේ පෙට්රල්, ඩීසල් සහ භූමිතෙල්වල සිල්ලර අලෙවිය මත සේවා ගාස්තු අය කිරීමයි. රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් සහතික කරන ලද ඒ තැනැත්තාගේ හෝ හවුල් ව්‍යාපාරයේ පිරිවැය රක්ෂණය නැව් ගාස්තු මත මෙම ආර්ථික සේවා ගාස්තු අයකරනු ලබයි.