එජාපය ආණ්‌ඩුවෙන් ඉවතට ?

තම පක්‍ෂයේ එකඟත්වයකින් තොරව ඇමැති මණ්‌ඩල සංශෝධනයක්‌ සිදු කළහොත් පක්‍ෂයක්‌ ලෙස ඊට එරෙහිවීමක්‌ වශයෙන් ආණ්‌ඩුවෙන් ඉවත් විය යුතු බවට එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල මන්ත්‍රීවරු කණ්‌ඩායමක්‌ පක්‍ෂ නායකත්වයට යෝජනා කිරීමට සූදානමින් සිටියි.

කොළඹ, කුරුණෑගල හා ගම්පහ දිස්‌ත්‍රික්‌ක නියෝජනය කරන එජාප තරුණ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුගේ මෙහෙයවීමෙන් පිහිටුවාගෙන ඇති මෙම මන්ත්‍රී කණ්‌ඩායම සිදුකිරීමට සූදානම් වන ඇමැති මණ්‌ඩල සංශෝධනය පිළිබඳව අවස්‌ථා කිහිපයකදීම රැස්‌වී සාකච්ඡා පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ දැඩි මතධාරි කිහිපදෙනකුගේ අවශ්‍යතාව මත මෙම සංශෝධන සිදුකිරීමට ජනාධිපතිවරයා සූදානම් වන බව ඔවුන් පෙන්වා දෙයි.

ඔවුන්ට ලැබී ඇති තොරතුරුවලට අනුව මුදල් ඇමැති ධුරයේ වෙනසක්‌ සිදුකිරීමට සූදානම් වන බව ද දකුණු ආසියාවේ හොඳම මුදල් ඇමැති ලෙස සම්මාන ලැබූ රවි කරුණානායක ඇමැතිවරයා මෙරටදී අමාත්‍යාංශයෙන් ඉවත් කිරීම දැඩි ප්‍රශ්නයක්‌ බව ද පෙන්වා දී තිබේ.

ඇමැති මණ්‌ඩලය පත්කරනු ලැබුවේ එ.ජා.ප. හා ශ්‍රීලනිප එකඟතාවක්‌ අනුව යෑයි ද එම එකඟතාව කඩකර ශ්‍රීලනිපයට අවශ්‍ය පරිදි එජාප ඇමැති ධුර වෙනස්‌ කළහොත් වහාම දැඩි ක්‍රියාමාර්ගවලට එළැඹිය යුතු බව ද ඔවුන් පෙන්වා දී තිබේ.

මේ පිළිබඳව මන්ත්‍රීවරුන් පිරිස පක්‍ෂ නායකත්වය හමුවී සාකච්ඡා කිරීමට සූදානමින් සිටී.