කොළඹ කුණු කරදියානට

කොළඹ නගරය තුළ දෛනිකව එකතුවන කුණු කසළ දින 11 ක කාලයකට පිළියන්දල කරදියාන කසළ අංගනය වෙත බැහැර කරන ලෙස කැස්‌බෑව වැඩ බලන මහෙස්‌ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය විසින් ඊයේ (18 වැනිදා) නියෝග කර ඇත.

මෙහිදී දිනකට කසළ මෙටි්‍රක්‌ ටොන් 350 ක ප්‍රමාණයක්‌ කරදියානට බැහැර කරන ලෙසත් එය අප්‍රේල් 17 වැනිදා සිට අප්‍රේල් 28 දක්‌වා පමණක්‌ කසළ අංගනයට බැහැර කළ හැකි බවත් නියෝගයේ සඳහන් කර ඇත.

මේ අනුව ඊයේ (18 වැනිදා) කසළ මෙටි්‍රක්‌ ටොන් 350 ක්‌ මෙම කරදියාන කසළ අංගනයට මුදාහැරීමට කොළඹ නගර සභාව පියවර ගත් අතර තවත් ලොරි කිහිපයක්‌ ආපසු හරවාගෙන පැමිණ ඇතැයි ද වාර්තා වේ.

කොළඹ නගරයේ එකතු වන කැළි කසළ මෙතෙක්‌ මීතොටමුල්ල ප්‍රදේශයට බැහැර කළ ද පසුගිය 14 වැනිදා එහි කුණුකන්දෙන් කොටසක්‌ කඩාවැටීමත් සමඟ කැළි කසළ දැමීම තාවකාලිකව නවතා දමන ලදී.

එබැවින් කොළඹ නගරයේ කසළ කරදියාන ප්‍රදේශයට බැහැර කිරීමට අවසර දෙන මෙන් කොළඹ මහ නගර සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබාදී තිබේ.

අධිකරණයෙන් අවසරය ලබාගැනීමෙන් පසු කරදියාන අංගනයට කසළ බැහැර කිරීමේ කටයුතු ඊයේ සිටම ආරම්භ කළ බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්‌ වී. කේ. ඒ. අනුර මහතා පැවසීය.

මීට අමතරව කොළඹ නගරයේ තවත් ස්‌ථාන තුනක්‌ කසළ බැහැර කිරීම සඳහා තෝරාගෙන ඇති බවත් එම ස්‌ථාන කුමක්‌ ද යන්න දැන්ම හෙළි කළ නොහැකි බවත් ඒ මහතා කියා සිටියේය. කරදියාන කසළ අංගනය සහිත ප්‍රදේශය වෙත පොලිස්‌ ආරක්‍ෂාව ලබා දීමට ද පියවර ගෙන තිබේ.

කොළඹ නගරයේ දිනපතා කැළි කසළ ටොන් හත්සිය පනහක්‌ පමණ එක්‌රැස්‌ වන බව නාගරික කොමසාරිස්‌වරයා කියා සිටියේය. කෙසේ වෙතත් කරදියාන කසළ අංගනය වෙත බොරලැස්‌ගමුව, කෝට්‌ටේ, දෙහිවල, ගල්කිස්‌ස, මොරටුව, කැස්‌බෑව නගර සභාවල කසළ බැහැර කෙරෙමින් පවතින අතර හෝමාගම, වෑතර ප්‍රදේශයේ සුළු කොටසක කසළ ද ඊට බැහැර කෙරෙමින් පවතී.