ආගමික නැඹුරුව වැඩිම රට ලංකාව

ශ්‍රී ලංකාව වැඩිම ආගමික නැඹුරුවක් සහ විශ්වාසයක් ඇති රාජ්‍යය ලෙස දකුණු, නැඟෙනහිර සහ අග්නිදිග ආසියා කලාපයේ ප්‍රමුඛතම ස්ථානයට පත්වන බව එක්සත් රාජධානියේ 'ද ටෙලිග්‍රාෆ්' පුවත් අඩවිය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය කරගෙන තිබේ.

එම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව ලොව වඩාත්ම ආගමික නැඹුරුව සහිත රාජ්‍යයන් පහ අතරද සම තැන ගෙන ප්‍රමුඛස්ථානයට පත්ව ඇති බවද ටෙලිග්‍රාෆ් පුවත් අඩවිය පෙන්වා දෙයි. පුවත් අඩවියට අනුව සම තැන ගත් රාජ්‍ය අතර බටහිර ආසියාතික රාජ්‍යයක් වන යේමනය, නැඟෙනහිර අප්‍රිකා රාජ්‍ය වන ඉතියෝපියාව සහ මලාවි රාජ්‍යයන්ද, බටහිර අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවද වෙයි. ද ටෙලිග්‍රාෆ් පුවත් අඩවිය සමීක්ෂණයට භාජන කළ පුද්ගලයන් වෙත 'තමන් ආගමික විශ්වාසයකින් යුක්ත පුද්ගලයකුද යන්න' ප්‍රශ්නයක් ලෙස ඉදිරිපත් කර ඇති අතර සමීක්ෂණයට ලක්වූ ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට අනූ නවයක්ම ආගමික විශ්වාසයකින් යුක්ත බව හෙළි වී තිබේ.

ශ්‍රී ලංකාව සමඟ සමතැන් ගත් අනෙක් රාජ්‍ය හතරේද සියයට අනූනවයක් පුද්ගලයන් ආගමික විශ්වාසය ඇති බව ප්‍රකාශ කර ඇත.
ටෙලිග්‍රාෆ් පුවත් අඩවිය විසින් වසර 2008,2009 සහ 2015 වසරවලදී සිදුකළ සමීක්ෂණවල සමස්ත ප්‍රතිඵලයයි මේ වසරේදී මෙලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ.
එසේම පුවත් අඩවිය විසින් ඒ ඒ වසරවල සිදුකරන ලද සමීක්ෂණවල ප්‍රතිඵල සිතියම් ගත කිරීමටද කටයුතු කර ඇත.
එම සමීක්ෂණයට අනුව ආගමික දර්ශන නිර්මාණය වුණු ඉන්දියාවේ ජනතාව අතර ආගමික විශ්වාසය සියයට හැත්තෑ හයක් වන අතර බහුතරය ඉස්ලාමීය ආගම අදහන පාකිස්තානයේ ජනතාව අතර ආගමික විශ්වාසය සියයට අසූ අටකි.
දකුණු ආසියාතික රාජ්‍යයක් ලෙස ඇෆ්ගනිස්ථානය දකුණු ආසියා කලාපයේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇති අතර එරට ජනයා අතර ආගමික විශ්වාසය සියයට අනූ හතක් බව වාර්තා පෙන්වා දෙයි.

ලොව සංවර්ධිත රාජ්‍යයන් යැයි සැලකෙන සියලුම රාජ්‍යයන්ගේ ජනයා අතර ආගමික විශ්වාසය ඉතාම පහළ අගයක් ගන්නා බව එම සමීක්ෂණයෙන් අනාවරණය කරගෙන ඇත.

ලොව ආගමික විශ්වාසය අඩුම රාජ්‍ය අතර චීනය ප්‍රමුඛස්ථානයට පත්වී ඇති අතර එහි ප්‍රතිශතයක් ලෙස ආගමික විශ්වාසය ඇති ජනයාගේ ප්‍රතිශතය සියයට හතකි. ජපානය එම ලැයිස්තුවේ දෙවැනි තැන හිමිකර ගෙන ඇති අතර එරට ජනයාගේ ආගමික විශ්වාසය සියයට දහතුනකි.
සමීක්ෂණය සිදුකළ පුවත් අඩවියේ මූලස්ථානය වන එක්සත් රාජධානියේ ජනයා අතර ආගමික විශ්වාසය සහ ආගමික නැඹුරුව සියයට තිහක් බව 'ද ටෙලිග්‍රාෆ්' පුවත් අඩවිය අනාවරණය කරයි.