මෝඩි මැයි 11 ලංකාවට

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝඩි මහතා ලබන මැයි මස 11 වැනි දින ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වීමට නියමිතය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ලබන මස 12 වැනි දින ඇරැඹෙන එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික වෙසක් දින ආරම්භක සැසි වාරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මහනුවර ශ්‍රී දළදා මාලිගයේදී විශේෂ දළදා පූජාවකට සහභාගි වන අග්‍රාමාත්‍ය මෝඩි ශ්‍රී ලංකාවේ නර්තන කලාව නඟා සිටුවීම සඳහා ඉන්දීය රජයේ ආධාර මත ඉදිකිරීමට නියමිත නර්තන පුහුණු මධ්‍යස්ථානයකට මුල්ගල තැබීමකටද ඉන්දීය රජයේ ආධාර මත ඉදිකළ හැටන්, දික්ඔය රෝහලේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමටද සහභාගි වෙයි. ඉන්දීය අගමැතිවරයා සමඟ විශේෂ දූත පිරිසක්ද මේ සංචාරයට එක්වන අතර අගමැති මෝඩි මහතාගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා රජය විශේෂ ආරක්ෂිත සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.