දැරියක පැහැරගෙන ගොස් ලිංගික අතවර

හැටන් වටවල රොසැල්ල මාණික්කවත්ත ප්‍රදේශයේ අවුරුදු දාහතරක් වයසැති පාසල් දැරියක් විවාහ කර ගන්නා බවට පොරොන්දු වී එම දැරිය පැහැරගෙන ගොස් මාසයකට අධික කාලයක් හැටන් ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට රැගෙන ගොස් එම දැරියට ලිංගික අතවර කළ තරුණයා සහ එයට අනුබල දුන් ඔහුගේ මිතුරකු සැකපිට හැටන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

දුරකතන සම්බන්ධතාවක් මත මෙම සැකකරු පාසල් දැරිය සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති අතර ඉකුත්දා (23දා) සිට එම පාසල් දැරිය අතුරුදන්ව ඇති බවට ඇයගේ මවුපියන් විසින් හැටන් පොලිසියට පැමිණිලි කර තිබිණි. එම පැමිණිල්ල මත පරීක්ෂණ පැවැත්වූ පොලිසිය එම පාසල් දැරිය ඔහුගේ මිතුරකුගේ නිවෙසක නවත්වා සැකකාර තරුණයා කොටගල ප්‍රදේශයේ සැඟව සිටියදී ලද තොරතුරක් මත ඊයේ (13දා) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පාසල් දැරියව ඉකුත්දා (7දා) එම තරුණයාගේ මිතුරකුගේ නිවෙසක සිටියදී එම මිතුරා සමඟ පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම පාසල් දැරියව නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර වෛද්‍ය වාර්තාවක්ද ලබාගෙන ඇත. ප්‍රධාන සැකකරු සන්තකයේ තිබූ යතුරුපැදියද සොයාගෙන ඇත. පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිරෝෂන් මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක මල්දෙණිය, පො.කො. නිශ්ශංක (62174), පො.කො. අප්සරා (2247), පො.සැ. විජේසිංහ (32163) යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.