උපවාසයට ඇප දුන්නොත් එය වැරදි පූර්වාදර්ශයක්

බන්ධනාගාරගත වන්නෙකු ඇප ලබාගැනීම සඳහා උපවාස කරන්නේ නම් හෝ එම උපවාසය මත ඇප ලබාදීමට තීරණය වන්නේ නම්, එය වැරදි පූර්වාදර්ශයක් බවත්, ඒ මත අධිකරණ ක්‍රියාවලිය අඩපණ විය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (29දා) පැවැති මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ වත්මන් තත්ත්වය පිළිබඳ මාධ්‍ය‘වේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේය.

"ඇත්තටම අපේ රටේ ඉතිහාසය පුරවටම නීතිය ක්‍රියාත්මක වීමේදී වලව්වේ හාමුට නීතිය ක්‍රියාත්මක වන ආකාරයෙන් වලව්වේ වැඩ කරන කොල්ලට ක්‍රියාත්මක කරන්නෙ නැහැ. ඒ වගේම එක් හොරෙක් අත්අඩංගුවට ගනිද්දි ඒ හොරාට තර්ක කරන්න බෑ, තව හොරු සිටියදී ඇයි මාව අත්අඩංගුවට ගත්තෙ කියලා. අපිට කියන්න තියෙන්නෙ 'කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ' කියලා.

ඇප ලබාගැනීම සඳහා උපවාස කරනවා නම්, ඒ උපවාස කිරීම මත ඇප ලබාදෙන්න තීරණය කරනවා නම්, ඒක අපේ අධිකරණ ක්‍රියාදාමය පිළිබඳ මම හිතන්නෙ අපි නැවත සිතන්න ඕනෙ. ඒ නිසා අද රිමාන්ඩ් භාරයේ සිටින බොහෝ දෙනෙක් උපවාස කළොත් මොකද වෙන්නෙ. බන්ධනාගාරයේ සිටින්නා නොවෙයි ඔහුගේ එළියේ සිටින සඟයන් විසින් සටන් දියත් කළ යුතුයි. එළියෙ ඉන්න මිතුරන් ඔහුව අත්හැරලා තියෙනවා. රාජපක්‍ෂට ඔහු ලව් කරන තරම්, රාජපක්‍ෂ ඔහුට ලව් කරන්නෙ නැති බව තේරුම් ගත යුතුයි" යැයි පවසා සිටියේය.