විමල් උපවාසය අත්නොහරී

තමාට ඇප ලබා නොදීම නිසා තව දුරටත් බන්ධනාගාරය තුළ උපවාසයේ යෙදී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් එම උපවාසය නතර කරන ලෙස බන්ධනාගාර නිලධාරීන් ඉල්ලා සිටියත් ඔහු එම ඉල්ලීම තරයේම ප්‍රතික්‍ෂේප කර ඇත.

විමල් වීරවංශ මහතා මෙම උපවාසයේ යෙදී සිටියහොත් ඔහුගේ සෞඛ්‍ය පිරිහී යැමට ඉඩ තිබෙන නිසා උපවාසය නතර කරන ලෙස ඔහුට දැනුම් දුන් බව ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරියෙක්‌ ඊයේ (28දා) කියා සිටියේය.

උපවාසය කිරීමෙන් මෙම ප්‍රශ්නයට විසඳුමක්‌ නොලැබෙන බවට බන්ධනාගාර නිලධාරීන් විමල් වීරවංශ මහතාට කරුණු පහදා දුන්නත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

බන්ධනාගාර රෝහලේ පසුවෙන විමල් වීරවංශ මහතාගේ සෞඛ්‍ය තත්ත්වයට මෙතෙක්‌ හානියක්‌ සිදුව නැතැයි බන්ධනාගාර ප්‍රකාශකයා සඳහන් කළේය.