මව පොල්ලකින් ගසා පුතු මරා දමලා

මඩකලපුව කාත්තන්කුඩි පොලිස්‌ වසමට අයත් නාවට්‌කුඩාවේ පදිංචි සිව් හැවිරිදි පිරිමි දරුවකු පොල්ලකින් පහරදී පෙරේදා (14 දා) රාත්‍රි 10.00 ට පමණ ඝාතනය කිරීම පිළිබඳව කාත්තන්කුඩි පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මෙසේ ඝාතනයට ලක්‌වී ඇත්තේ සදුර්සන් නමැති සිව් හැවිරිදි දරුවෙකි. නාවට්‌කුඩා මාදර් පාරේ නිවසක මාස හයක පමණ කාලයක සිට මේ දරුවා හදාවඩාගත් කාන්තාව විසින් දරුවාට පොල්ලකින් පහරදී ඔහු ඝාතනය කර ඇතැයි පොලිසියට ලැබුණු පැමිණිල්ලක්‌ මත පරීක්‍ෂණ ආරම්භ කළ බව කාත්තන්කුඩි පොලිසියේ උසස්‌ නිලධාරියෙක්‌ දිවයිනට ඊයේ (15 වැනිදා) පැවසීය.

දරුවා හදාවඩා ගත් කාන්තාව විසින් නිවසේ උඩුමහලෙන් බිමට වැටී ඇතැයි පවසමින් මෙම දරුවා ආර්යම්පති රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කර සිටියදී දරුවා මියගොස්‌ ඇත.

මෘත දේහය පරීක්‍ෂා කළ වෛද්‍යවරයා දරුවාගේ මියයැම සම්බන්ධයෙන් සැකයක්‌ පවතින බවත් ඒ අනුව මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ඊයේ (15 වැනිදා) නියෝග කර තිබූ බවත් එම නිලධාරියා කීය. එහිදී දරුවා මියගොස්‌ ඇත්තේ කුමනාකාරයෙන්ද යන්න නිශ්චිතවම දැනගත හැකි බවද එම නිලධාරියා කීය.

දරුවා මියගොස්‌ ඇත්තේ මෙම කාන්තාව විසින් පහරදීමෙන් බවට අසල්වැසියන්ද පොලිසියට පවසන බවත් එම නිලධාරියා කීය. මෙම කාන්තාව තවත් වයස අවුරුදු 08 දරුවකු හදාවඩා ගන්නා බවද හෙළිවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දරුවා හදාවඩාගත් කාන්තාව සහ පොල්ලක්‌ කාත්තන්කුඩි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවද ඔහු කීය. කාත්තන්කුඩි පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඒ. බී. වෙලගෙදර මහතාගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත ගුණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.