බන්දුල මිලියන 500 ක වන්දි ඉල්ලයි

ඉතා ද්වේශ සහගත ලෙස පළිගැනීමේ අරමුණින් තමාගේ කීර්ති නාමයට හානි කළ බව පසමින් රජයේ පුවත්පතකට හා තමා සම්බන්ධව අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව මිලියන 500 ක වන්දි මුදලක් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (14) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ය.

බැඳුම්කර කොමිසම හමුවේ තමා සිදු කළ ප්‍රකාශය විකෘති කරමින් ඉතා ද්වේෂ සහගත ලෙස දින ගණනාවක්ම පළ කරන ලද ප්‍රවෘත්ති හේතුවෙන් රජයේ පුවත්පතකට එරෙහිව රුපියල් මිලියන 200 ක් හා මුදල් අමාත්‍යවරයා විසින් තමාට එරෙහිව සිදු කරනු ලැබු අසත්‍ය ප්‍රකාශයකට එරෙහිව රුපියල් මිලියන 300 ක වන්දි මුදලක් ඉල්ලන බව තම නීතිඥයන් විසින් ඊයේ (15) දිනයේ දී එන්තරවාසියක් මඟින් යැවු බව බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වු මන්ත්‍රීවරයා කියා සිටියේ තමා ඉතා සද්භාවයෙන් බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමට ඉදිරිපත් වු බවත් තමා මෙතෙක් තම දැනුමේ හැටියට කිසිදු අසත්‍ය කරුණක් ප්‍රකාශ කර නොමැති බවත් ය.

කෙසේ වෙතත් ඒකාබද්ධ කොමිසමේ මන්ත්‍රීවරුන්ගේ අත්සන ලබා ගැනීමට තිබු අපහසුතාවය හේතුවෙන් තමා කොමිසම ඉදිරියේ සාක්ෂි දෙන බවට වු ලිපිය යැවීමට නොහැකි වීම නිසා කොමිසම හමුවේ තමා අපහසුතාවයට පත් වු බව ද බන්දුල ගුණවර්ධන මහතා තව දුරටත් කියා සිටියේ ය.