මහින්දගේ ආරක්ෂක රථයක් අනතුරට ලක් වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක පෙරගමන් රථයක් පේරාදෙණිය පොලිස් බල ප‍්‍රදේශයට අයත් කිරිබත්කුඹුර ප‍්‍රදේශයේදී අනතුරට ලක්වුණා.

ආරක්ෂක ජීප් රථයක් ත‍්‍රීරෝද රථයක ගැටීමෙන් අද පෙරවරුවේ මේ අනතුර සිදුව තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ආගමික උත්සවයකට ආරක්ෂාව ලබාදීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළු රැගෙන ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයක් හා ත‍්‍රීරෝද රථයක් ගැටී අද පෙරවරු 6.30 ට පමණ මේ අනතුර සිදුවුණා. අනතුරින් තුවාල ලැබූ ත‍්‍රීරෝද රථ රියදුරා පේරාදෙණිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අධික වේගයෙන් ධාවනය වී ඇති ත‍්‍රීරෝද රථය පෞද්ගලික බස් රථයක ගැටී ඊට පිටුපසින් ධාවනය වූ ඩිෆෙන්ඩරයේ ගැටීමෙන් අනතුරුව මාර්ගයේ පෙරලී ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ ත‍්‍රීරෝද රථයේ රියදුරා අධික ලෙස බීමත්ව සිටි බව හෙළිව ඇති බවත් ඔහු සන්තකයේ රියදුරු බලපත‍්‍රයක් ද නොතිබූ බවත් පේරාදෙණිය පොලිසිය සඳහන් කළා.

මේ අතර මහනුවර – කොළඹ මාර්ගයේ පස්යාල බටලීය ප‍්‍රදේශයේදී පෞද්ගලික මගී බස්රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ තවත් අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබෙනවා.

ඊයේ රාත‍්‍රී 8.30 ට පමණ මේ අනතුර සිදුව තිබෙනවා. මහනුවර සිට කොළඹ බලා ධාවනය වී ඇති පෞද්ගලික බස්රථය අනෙකුත් වාහන පසුකරමින් ඉතා අපරික්ෂාකාරී ලෙස ධාවනය වූ අවස්ථාවේ ඉදිරියෙන් පැමිණි යතුරුපැදියේ ගැටී තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමේදීත් මියගොස් සිටි බව අප වාර්තාකරු සඳහන් කළා අනතුරින් පසු බස්රථයේ රියදුරා පලාගොස් ඇති අතර පසුව ඔහු නිට්ටඹුව පොලිසියට බාර වී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කි‍්‍රයාත්මකයි.