ට්‍රම්ප්ගේ අණ නොතැකූ නිතිපති ධුරයෙන් ඉවතට

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සරණාගතයන් සීමා කරමින් අත්සන් කරනු ලැබූ විධායක නියෝගයට පෙනී නොසිටි එරට වැඩබලන නීතිපතිවරිය ධුරයෙන් ඉවත්කර තිබේ.

ඒ වෙනුව, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව වැඩබලන නීතිපතිවරයා ලෙස නැගෙනහිර වර්ජිනියා දිස්ත්‍රික් නීතිපති ධුරය හෙබවූ ඩානා බොයෙන්තේ පත්කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

එරට වැඩබලන නීතිපතිනිය ලෙස කටයුතු කළ සැලී යේට්ස් විසින් ජනපති ට්‍රම්ප්ගේ විධායක නියෝගය වෙනුවෙන් පෙනී නොසිටින ලෙස රජයේ නීතීඥයන්ට උපදෙස් දීමත් සමග මෙම අර්බුදය හටගත් අතර, ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇය ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු යෙදීය.

පසුගිය සිකුරාදා දිනයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් විධායක නියෝගයට අනුව එරට සරණාගත වැඩසටහන මාස 4ක කාලයක් නවතා දැමුණු අතර, ප්‍රමුඛ මුස්ලිම් රාජ්‍යයන් 7කින් සරණාගතයන් එරටට ඇතුළු වීම මාස තුනක කාලයක් සඳහා අත්හිටවනු ලැබීය.

මේ තත්ත්වය තුළ තම විධායක නියෝගය ක්‍රියාත්මක කිරීමට වැඩබලන නීතිපතිනිය අපොහොසත්ව ඇති බව ට්‍රම්ප් පවසා තිබේ. එමෙන්ම, ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ හිටපු නීතිපතිනිය එරට අධිකරණ දෙපාර්තමේන්තුවට ද්‍රෝහී වී ඇති බවයි.

ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ මීට පෙර ජනපතිවරයෙකු විසින් නීතිපති ජනරාල්වරයෙකු ධුරයෙන් ඉවත්කරනු ලැබූවේ වර්ෂ 1973 දීය. ඒ හිටපු ඇමෙරිකානු ජනපති රිචර්ඩ් නික්සන් විසිනි.